‘සමගියෙන් සාකච්ඡාවෙන් ගැටලු විසඳනවා‘


බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් සමග බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී සාකච්ඡාවක් පැවැත්වීය.

ඇමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රටේ ගැටුම් ඇතිනොවීමට ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරගැනීම සඳහා සාකච්ඡාව පැවැති බව කියති.

‘ජාතින් අතර පවතින සුහදතාවය ගැන එක් එක් පාර්ශව චෝදනා කරගනිමින් හැම ජනවර්ගයකම සිත්වල ආතතියක් ඇතිවී තිබෙනවා. ඔවුනොවුන් කෙරෙහි සැකසංකා ඇතිකරගෙන තිබෙනවා. එවැනි වටපිටාවක බුද්ධ ශාසන ඇමැති පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා රටේ මොන අන්තවාදයක් ඇතිවුණත් එය පරාජය කිරීමට නීති අන පණත් ගෙන එන බව. හාමුදුරුවරු කිහිප දෙනෙක් කටයුතු කරන ආකාරය ගැනත් කිව්වා. ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ විරෝධය පළ කළා. අපි සතුටුවෙනවා අපේ බුද්ධ ශාසන ඇමැතිවරයා අපට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කරගැනීමට අවස්ථාව දීම ගැන. ඉතාම හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැමදාම ප්‍රශ්න ගැන කියනවා අහන කෙනෙක් නෑ. මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේ යැයි අපි සංවාදය ගැන විශ්වාසය තියනවා.‘ යැයි සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ කීහ.

‘ආගමික වෙනස්කම් මත නොයෙක් කණ්ඩායම් ඇති කළ මතවාද නිසා එහි ප්‍රතිඵලය භයානක විය හැකියි. ඒ ගැන මම අවධානය යොමු කළා. රටක ඕනෑම ප්‍රශ්නයක් සාමයෙන් සමගියෙන් සාකච්ඡාවෙන් විසඳාගැනීමේ හැකියාව තිබෙනවා. සියලු පාර්ශව එකට එකතු කර ප්‍රමුඛතාවය හඳුනාගෙන ඒවා සමගියෙන් විසඳාගැනීමේ හොඳ පරිසරයක් නිර්මාණය වී තිබෙනවා‘ යැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී කීවේය.