ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 2009 ඉන්දියාවේ ගිය ගමන සම්බන්ධයෙන් දැන් වැඩ තහනම් කර ඇත්තේ ගුරු සංගමයෙන් පළි ගැනීමට යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ඔහු නියමිත පරිදි නිවාඩු අයදුම්පත් භාර දී ඇතැයි ද, ඒ බව ඔප්පු කිරීමට සාක්කි ඇතැයි ද ස්ටාලින් මහතා පවසයි.
ප්‍රියන්ත මහතා උතුරු මැද අධ්‍යාපනයේ ගැටළු සම්බන්ධයෙන් කාලයක් තිස්සේ හඩ නැගූ බවත්, එහි ප්‍රථිඵලයක් ලෙස 2007 නොවැම්බර 26 වැනිදා ද ඔහුගේ වැඩ තහනම් කළ බවත්, එය නීති විරෝධී බව කියමින් ඔහු කළ අභියාචනයක් අනුව දින 26ක් ඇතුළත නැවත සේවයේ පිහිටවූ බවත්, සේවයේ පිහිටුවා මාස හතරක් යන තෙක් වැටුප් නොලැබුණු තැන මානවහිමිකම් පවා ගිය බවත්, හිග වැටුප් සහිතව වැටුප ගෙවන ලෙස එහිදී නිර්දේශ වූ බවත් ස්ටාලින් මහතා කීවේය.
අධ්‍යාපන පරිපාලන සේවයේ නියමිත සුදුසුකම් සපුරා නැතිව තනතුරු හෙබවූ උතුරු මැද හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු 11 දෙනකුට එරෙහිව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 2009 ජනවාරි මස 17 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ද, 2009 අගෝස්තු පළමු වැනිදා විදෙස් ගත වීමේ අරමුණින් ඊට පෙර නියමිත අයදුම්පත් සකස් කර විදුහල්පති නිදේශ යටතේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට භාර දී ඇති බව ද, කලාප බලධරයනට එරෙහිව මානව හිමිකම් ගොස් තිබූ නිසා ඔහුගේ අයදුම්පත් අස්ථාන ගත කර ඇති බවට සැක කරන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් සඳහන් කළේය.
උතුරු මැද ප්‍රශ්න පත්‍ර අවුල්, මූල්‍ය වංචා ආදී අයතා ක්‍රියා සම්බන්ධයෙන් දිගින් දිගටම සටන් කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සහ ලංකා ගුරු සංගමයේ වැඩ අඩාල කිරීමේ අරමුණින් මෙවර වැඩ තහනම් කර ඇතැයි ද, අධ්‍යාපන අමාත්‍යංශයෙන් මූලික විමර්ශනයක් නොපවත්වාම වැඩ තහනම් කිරීමට කටයුතු කිරීමෙන් එය පෙනී යන්නේයැයි ද, මේ වැඩතහනමට එරෙහිව නීතිය ඉදිරියට යන්නේ යැයි ද, මෙවැනි ක්‍රියාවලින් ප්‍රියන්ත මහතාගේ හෝ ලංකා ගුරු සංගමයේ වැඩ අඩාල කළ හැකිවේයැයි බලධාරීන් සිතනවා නම් එය දවල් හීනයක් යැයි ද ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.