‘සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධයේ තීරණයක් නැහැ‘


(බිඟුන් මේනක ගමගේ)

සභාග රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයෙන් ඉවත් වී නව රජයක් පිහිටුවීම සඳහා විපක්ෂය සමඟ එකතු වීම සැලකිල්ලට ගත හැකි නමුත් එජාපය සමඟ හෝ ආණ්ඩුවේ සිටින වෙනත් පිරිසක් සමඟ නව රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂයට වුවමනාවක් නැතැයි මන්ත්‍රීවරයා කීවේය. 

මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සභාග රජයක් පිහිටුවීම ගැන පළ කළ අදහස් සම්බන්ධයෙන් ‘ලංකාදීප සඳුඳා හමුව’ දේශපාලන සාකච්ඡාවේදී කළ විමසීමට පිළිතුරු දෙමිනි.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ කැඳවා ජනාධිපතිවරයා කළ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය සහභාගී නොවූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් දැන් පලක් නොවන නිසා යැයි ද අබේවර්ධන මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය දැන් සොයන්නේ මහින්ද මෛත්‍රී සමගි කිරීමක් ගැන නොව රට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඑන වැඩපිළිවෙලක් සැකසීම ගැන යැයි ද මන්ත්‍රී අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.