‘සත්‍යග්‍රහයේ නිරත සිසුන්ට මරණ තර්ජන‘


අද අලුයම සබරගමුව සරසවියේ  ප්‍රධාන දොරටුව අසලට ආ නාඳුණන පිරිසක්  අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

පැමිණි පිරිස ආරක්ෂක නිලධාරීන්ගෙන්  “ අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් දුන්නාද? ” යි විමසමින්  පිපුරුම්  හඬත් සමග පලා ගිය බවට සමනලවැව පොලිස් මුරපොලෙහි  ආරක්ෂක අංශය හා සිසුන් යන දෙපාර්ශවයම පැමිණිලි කර තිබේ. 

කැබ් රථයකින් පැමිණ ඇති මෙම පිරිස  ආරක්ෂක හිස්වැසුම් පැළඳ සිට ඇති අතර මුහුණු හා දෑස් ආවරණය කර සිට ඇතැයි කියති.

සත්‍යග්‍රහයේ නිරත සිසුන් 300 කට ආසන්න පිරිසක් විශ්ව විද්‍යාල භූමියේ සිටි බවත්, වෙඩි ශබ්දය ආ දෙසට සිසුන් යන විට ඔවුන් පලා ගිය බවත් සරසවි ශිෂ්‍ය එකමුතුවේ නියෝජිතයෙක් පැවසීය. සත්‍යග්‍රහයේ නිරත සිසුන් කිහිප දෙනෙකුට දුරකතන මගින් මරණ තර්ජනය කර ඇතැයි කී එම නියෝජිතයා  තම ආරක්ෂාව සම්බන්ධයෙන් සමනල වැව පොලීසියට පැමිණිලි කර ඇතැයි ද කීවේය.