ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් තත්ත්වය හුණුවටයේ කතාව මෙන් වී ඇති බවත්, පක්‍ෂයට ආදරේ අය දරුවා වේදනාවට පත්වෙනවාට අකමැති අම්මා මෙන් ක‍්‍රියාකරද්දී පක්‍ෂය විසින් අරන් හදාගත් දරුවන් අම්මා කවුදැයි නොදන්නා නිසා පක්‍ෂයේ ප‍්‍රශ්න ඇතිකරන්නට උත්සාහ ගන්නා බවත් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ඇමැතිවරයා හදාගත් දරුවන්ද පාසලට කැඳවාගෙන යාමට හෝ අම්මා කෙනෙක් අවශ්‍ය වන බව කීවේය. මැතිවරණ අවස්ථාවලදී ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවශ්‍ය වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පක්‍ෂය විසින් පත් කළ නව ආසන සංවිධායකවරුන්ට චෝදනා ඇති බව ඇතැමුන් කීවත් එම චෝදනා අධිකරණය මගින් ඔප්පු කර නැතැයි කී අමාත්‍යවරයා ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටලූ ඇතිවුවහොත් මීළඟ මැතිවරණ සඳහා නාමයෝජනා දෙන විට ඔවුන් සම්බන්ධයෙන් තීන්දු ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.
ප‍්‍රමිතියෙන් අඩු බාල තෙල් ආනයනය සම්බන්ධයෙන් චෝදනා ලබා තෙල් ගෙන්වීමේ බලපත‍්‍ර අහෝසි කර තිබූ විටෝල් නමැති සමාගම නැවතත් තෙල් ගෙන්වන සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට සහ ඒ සම්බන්ධ කැබිනට් ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.