(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23)පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා 13ක් පසුගිය ජුනි මස 18 සිට c2 දක්වා කාලයේදී අවලංගුවී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
දයාසිරි ජයසේකර මහතා මෙසේද සඳහන් කළේය.
අවලංගු වුණු ගුවන් යානා වල මගීන් රඳවලා තියෙන්නේ ඒ වටේ තියෙන හෝටල් වල. ගිය වියදම කොච්චරද කියලා කවුරුත් දන්නෙ නැහැ. මේ අය කොරෝන කාලෙත් ඇවිල්ල වැඩ කළා. අද ඒක දෙන්නෙ නැහැ. අපේ ඇමැතිතුමා ඒ කරුණු වසන් කරලා තමයි සියලු දේ කතා කළේ. ගුවන් සමාගම විකුණන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒකයි මෙහෙම කටයුතු කරන්නෙ. මේක වට්ටවන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මගීන් ගෙන යන බස්වලට ඇතුළට යන්න දෙන්නෙ නැහැ.මිනිස්සු පාරවල් දිගේ බැග් ඇදගෙන යනවා.
ඊයේ මම ලොතරැයි මණ්ඩලය ගැන කතා කළා. නමුත් ඒක එක රූපවාහිනියකවත් දැම්මේ නැහැ. මොකද ඒවා දැම්මොත් දැන්වීම් දෙන්නෙ නැති නිසා. බලං ගියාම විකාශන අධිකාරී පනත හොඳයි. විශාල ප්‍රශ්න ගණනාවක් ඒකෙ ඇතුළේ තියෙනවා.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ ගුවන් නියමුවන් හැත්තෑවක් පසුගිය කාලයේදී ඉවත් වෙලා තියෙනවා. දැනට ඉන්නේ 260 කට අඩු ප්‍රමාණයක්. මේ අවුරුද්දේ තවත් දහ අටක් එමිරේට්ස් යන්න ඉන්නවා. රටට ගුවන් නියමුවන් 330 ක් අවශ්‍යයි. නමුත් ඉන්නේ 260යි. එතකොට ඉන්න ගුවන් නියමුවන්ට සිද්ධ වෙනවා ජාත්‍යන්තර නීති කඩ කරලා වැඩ කරන්න. පියාසර කිරීම බොහෝම අසීරු දෙයක්. ඒ වගේම මමත් ආස දෙයක්. විවේක කාලය කෙටි කරලා මේ අයට අද වැඩ කරන්න වෙලා. එතකොට ගුවන් මගීන්ගේ ජීවිතවලට අවදානමක් මතු වෙනවා. මේ ගුවන් නියමුවන්ගේ ප්‍රශ්නය විසඳන්න කියලා රජයෙන් ඉල්ලනවා.

