‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ බිහිවෙයි : නායකයා තාම නෑ


‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ බවත් එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා දරණ බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු කියයි.

නම හෙළි නොකිරීමේ පදනම යටතේ ඔහු කියා සිටියේ පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය අනුව මේ පියවර ගත් බවයි.

නව පක්ෂයට නායකයකු තවම පත්කර නැතැයි ද ඔහු කීවේය. එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාය.

නව පක්ෂයේ නායකයා බොහෝ දුරට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විය හැකි බවත් මේ පක්ෂය ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පිහිටවූ බවත් දේශපාලන ආරංචි කියයි.

නව පක්ෂයේ ලාංඡනය මල් පොහොට්ටුවයි.

මෙම පක්ෂය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා අනුරාධපුරයේ දී එළි දැක්වීමට නියමිත බව ද දේශපාලන ආරංචි සඳහන් කරයි.