‘වෛරයක් නෑ : පලිගැනීමක් නෑ‘


‘ අපිට ඉදිරියට යෑමට නොදී විවිධ කඩාකප්පල්කාරී දෑ කළත් අප කිසිවිටක ඔවුන්ට වෛර කරන්නේ නෑ. පස් වතාවක් බෝම්බ ප්‍රහාර වලට ලක්වන්නට ගිය මා කිසි දිනක මේ රටේ ත්‍රස්තවාදය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ.‘ යි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) විහාරමහා දේවී උද්‍යානයේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

උත්සවයට පැමිණි සිරිසේන මහතා බුදු පිළිමවහන්සේට මල් වට්ටියක් පූජා කළේය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරමුණ පැහැදිලි කිරීමෙන් පසු ජයමංගල ගාථා සජ්ජාඣායනා කරන අතරතුර  මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහා සංඝරත්නයට හා පැමිණ සිටි දේශපාලන නායකයන්ට පිළි ගැන්වීය.

එය පිළිගන්වද්දී විදුලිය විසන්ධි වූ අතර සිරිසේන මහතා නැවත කතාව ආරම්භ කර මද වේලාවකින් විදුලි ජනන යන්ත්‍රයක් ආධාරයෙන් විදුලිය ලබා ගත්තේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා -

‘‘නහිවේරේන වේරානි‘ හා ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී‘ කියන ප්‍රතිපත්තිය මත පිහිටා අපි කටයුතු කරනවා. අපිට මොන හිරිහැර කරත් අපි වෛර කරන්නේ නෑ. ක්‍රෝධ කරන්නේ නෑ. අවිහිංසාවාදීව අපි කටයුතු කරනවා.

මා මිත්‍ර මහින්ද රාජපක්ෂ මහත්මා කියනවා අපි බලයට ආවොත් මේ රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති වෙනවා කියා. දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබෙන්නේ දැනුයි.

යුද්ධ ඉවර කළ ශ්‍රේෂ්ඨ යුද නායකයා ඉන්නේ අප සමගයි. මේ රටේ නැවත යුද්ධයක් ඇති වෙන්න, කොටි සංවිධානයට නැවත හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නෑ.

යුද්ධය අවසන් වන අන්තිම සති දෙකේ ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ මමයි. මා කොටි ප්‍රහාර පහකට ලක් වුණා. එස්ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ මැතිණියගේ දියණිය කොටි ප්‍රාහරයකට ලක්ව ඇහැක් අහිමි වුණා.

මා බලයට එන්නේ දෙවැනි වරත් ඉල්ලන්න නොවෙයි. මාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් දෑ ඒ විදියටම ක්‍රියාත්මක කරන බව මා ප්‍රතිඥා දෙනවා.

අවුරුදු නවයක් තිස්සේ මගේ හඬ එක්සත් ජානතා නිදහස් සන්ධානයට වැදගත් වූවාසේම දැනුත් මගේ හඬ නැතිව බැරි වෙලා. ඒ නිසා තමයි මා වසර ගණනාවකට කළ ප්‍රකාශයක් නැවත විකාශය කරන්නේ. ජනතාව දන්නවා දැන් මා කියන ප්‍රකාශ සහ පැරණි ප්‍රකාශ ගැන. රාජ්‍ය මාධ්‍යවල ඉන්න මාධ්‍යවේදීන්ට ඉහළ බලපෑම් හමුවේ අසරණ වෙන්න වෙලා. මා ඒ අයට අනුකම්පා කරනවා. ‘

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා -

‘මේ රටේ ත්‍රස්තවාදය නැති කළාට පස්සේ රාජපක්ෂ උවදුරට මුහුණ දෙන්න වුණා. ජයග්‍රහණය මතින් බලය අරගෙන ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා.

අද මේ පාලනය අවසන් කරන්න සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. 1948 වසරෙන් පසු දැන් තමයි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ. ඒ රාජපක්ෂ රෙජීමය එළවන්නයි. ඒ සඳහා අපි තෝරා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතායි.‘

සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පහත වෙබ් අඩවියෙන් පිවිසිය හැකිය.

https://drive.google.com/file/d/0B-nKtUq9rQEQUkNrcUgxMmFJYjQ/view

 

RDS_5354 RDS_5283 RDS_5265 RDS_5234 RDS_5220 RDS_5154 RDS_5140 RDS_5130 RDS_5104 RDS_5092 RDS_5033 RDS_5013 RDS_4996 RDS_4990 RDS_4973 RDS_4973