රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් දුවන්නේ රාජපක්ෂලා වෙනුවෙන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
බ්‍රහස්පතින්දා (19) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ඒ බව සඳහන් කළේය.
අගමැතිගේ විශේෂ ප්‍රකාශ පහත දැක්වේ.
‘‘මෙරට තරුණයන් සහ වෘත්තීයවේදීන් සහභාගි වන විශාල පෙළපාළියකට එක් වන්නැයි එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා ලැබී තිබෙනවා. අපත් එම පෙළපාළියට එකතු වීමට තීරණය කර තිබෙනවා.
විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මන් සංචාරයත් එම වැඩපිළිවෙළට පිටුවහලක් වේවි. එම වැඩ කටයුතු කඩිනමින්ම ඇරැඹිමට නියමිතයි.
වසර 5 ක් ඇතුළත රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීමේ කටයුතු අපගේ වෙළෙඳපොළ මගින් පමණක් කරන්නට හැකියාවක් නැහැ. 1977 වසරේදීත් අප රැකියා බිහි කිරීම සඳහා විදේශ රටවල සහයෝගය ලබා ගත්තා. එදා අප බෙහෙවින්ම යුරෝපීය වෙළෙඳපොළේ සහයෝගය ලබා ගත්තා. අද අප ආසියාවේ වෙළෙඳපොළ සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය ඒ අතර ප්‍රධාන වනවා. සිංගප්පූරුව, චීනය, ජපානය, ඉන්දියාව මෙන්ම යුරෝපය සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත් පසුව ආයෝජකයන් අප රටට පැමිණෙනවා. මෙම කටයුතු සඳහා පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ජනතාවගෙන් වරමක් ලබා ගත්තා. විදේශයන් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර රැකියා උත්පාදනය කරන බව අප මැතිවරණයේදී පැහැදිලිව කියා සිටියා.
මේ අතර ජාතික රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට විරුද්ධව ක්‍රියා කරන පිරිසක් සිටිනවා. අප රැකියා ලබානොදුන්නොත් අපට දොස් කියන්නැයි මා ඔවුන්ට පවසනවා. අප ගමන් කරන වේගය මදි නම් අපට දොස් කියන්නැයි මා ඉල්ලා සිටිනවා. නමුත් මේ ගමන නවත්වන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. සියලූම කඩාකප්පල්කාරීන්ට මුහුණදීමට අප සූදානම්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධව චෝදනාවක් කර තිබෙනවා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව සෙවීමට රහස් පොලිසිය යෙදවූවාය යන්න එම චෝදනාවයි. මාධ්‍ය කිහිපයකුත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවෙයි. එම සංගමයේ දැනට සිටින නිලධාරීන් මහින්ද රාජපක්‍ෂලා පසුපස දුවන විට අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තා. එම ජන වරමෙන් අනතුරුව පාදෙනිය ප්‍රමුඛ පිරිසක් පැමිණ මා හමුවුණා. දැන් ඔවුන් නැවත මේ අයුරින් ක්‍රියා කරනවා නම් ඊට දේශපාලන වශයෙන් පිළිතුරු දී එම සංවිධානය දේශපාලන සංවිධානයක් ලෙස පිළිගැනීමට අප සූදානම්. මේ පිරිස මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් කඩේ ගියා. එය ඔප්පු කිරීමට සාක්‍ෂි තිබෙනවා. මේ පිළිබඳව කතා කරන්න එපා යැයි ඔවුන් මා හමු වී පැවසුවා.
මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතුයි. ඊට විරුද්ධ වෙන්නට ඔවුන්ට තිබෙන අයිතිය කුමක්ද? මොවුන් නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මම මොවුන් නගන චෝදනාව පිළිබදව සොයා බැලූවා. එමෙන්ම පොලිසියෙන් ද වාර්තාවක් ලබා ගත්තා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිසිය එම පැමිණිල්ල විභාග කර තිබෙනවා. "Establishment of 'Specialist Registry' & Introduction of an evaluation procedure for foreign medical specialist" නැමැති ග්‍රන්ථයේ ඇතුළත් කර ඇති 67ඒ වගන්තියට සමානව වෛද්‍ය ආඥා පනත සංශෝධනය කර අනුමැතිය ලබා ගැනීම සඳහා යෝජනා කරන ලද කෙටුම්පතක් අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති නමුත් එම කෙටුම්පත මෙතෙක් අනුමත වී නොමැති බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතෙ යනුවෙන් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.
මේ පැමිණිල්ලේ ඇත්ත – නැත්ත පිළිබඳව මා දන්නේ නැහැ. විමර්ශන කටයුතු සඳහා මෙම පැමිණිල්ලේ පදනමක් තිබෙන බව පොලිසිය පවසනවා. මේක පුදුම වැඩක්... කවුරු හරි ගිහින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පැමිණිල්ලක් කළොත් ඒක මගේ ඇඟ උඩට එනවා. දැන් මේ අය වර්ජනයක යෙදෙනවලූ... කවුරු හරි වරදක් කර තිබේ නම් එය පොලිසිය විසින් විභාග කරනවා. අප ඊට ඇඟිලි ගහන්නේ නැහැ. පොලිසියේ පරීක්‍ෂණ සඳහා බලපෑම් කරන්නේ නැහැ. ඔය නිලධාරීන්, ඇම්බැට්ටයො රාජපක්‍ෂ රෙජීමයෙන් සියලූම වරප්‍රසාද ලබා ගත්තා.
අප මේ සියලූම දේ වෙනස් කරනවා. දේශපාලනය කරනවා නම් දේශපාලන සංගමයක් විදියට සලකන්න. දැන් ඔය සෙල්ලම නවත්වන්න. අපේ රටේ රෝගීන් අමාරුවේ දමා නැවත පාරට බහින්න ආවොත් අපත් පාරට බහින්න ලෑස්තියි. එවිට හොඳ පිළිතුරක් ලැබේවි. ඔය සෙල්ලම කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාලා සමග හැම දෙනාම නැහැ. බොහෝ දෙනෙක් මා හමුවී ඒ බව පවසා තිබෙනවා.
මේ චෝදනාව පළ කර ඇත්තේ "ඩේලි මිරර්" පත්‍රයේයි. "PM's office pressuring CID" යනුවෙන් එම පුවත පළ කර තිබෙනවා. ඉස්සෙල්ලා රහස් පොලිසියෙන් අහන්නෙ නැත්තෙ ඇයි? මේ "ඩේලි මිරර්" පත්‍රයේ ඔක්කොම කට්ටිය එදා රාජපක්‍ෂලා එක්ක ගියා. මා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි කේසර අබේවර්ධන එදා ලියා තිබුණා. අලූත් රාමුවට අනුව හැදෙන්න මම කාලය ලබා දී තිබෙනවා. එහෙම හැදෙන්න බැරි නම් බොරු නොලියා කේසර අබේවර්ධනටත් ගෙදර යාමට අවස්ථාව තිබෙනවා. මේවාට ඉඩ දෙන්න අප ලෑස්ති නැහැ. ‘දෙරණ‘ නැවත සෙල්ලම පටන් ගෙන තිබෙනවා. දෙරණ නැවතත් රාජපක්‍ෂලාට කඩේ යනවා නම් ඒ අය කරපුවා අපට කියන්න පුලූවන්. ඒ ගැන මෙතැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොවුන් කාන්තාවන්ට බැළලිය කියමින් අපහාස කරනවා. මේවා හැදෙන්න අවශ්‍යයි. හැදිල එන්න බැරි නම් අපත් ඊට මුහුණදෙන්න ලෑස්තියි. ජනතාව දුන් වරම නැවත කඩාකප්පල් කිරීමට නැවත මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ.
නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර තරුණයන් සඳහා රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම සඳහා ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවා. මොවුන් බහුතර ජන මතයට විරුද්ධව කටයුතු කරන්නේ ඇයි? මොවුන් නැති කරන්නේ ජනතාවගේ විකාශන අයිතියයි. ඊට අප ඉඩ දෙන්නේ නැහැ. ‘ඩේලි මිරර්‘ පත්‍රය හෝ ‘දෙරණ‘ හෝ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙළ නවත්වනවා නම් අප ඊට ඉඩ දෙන්නේ නැහැ. මෙම ක්‍රියාවන්ට විරුද්ධව අප පාරට බහිනවා. විරුද්ධව සටන් කිරීම අපට ප්‍රශ්නයක් නොවෙයි. විරුද්ධවාදීන් ගෙනෙන සෙනග වගේ දස ගුණයක් ගෙනවුත් පෙන්වන්න අපට පුළුවන්. ඔය සෙල්ලම නවත්වන්නැයි මා සියලූම දෙනාට පවසනවා. කාට හරි හානියක් වෙනවා නම් අපට කියන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිම හානියක් වන්නේ නැතැයි අපේ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේ නම් මොවුන් දැන් කරන්නේ දේශපාලනයක්. මොවුන් දුවන්නේ රාජපක්ෂලා වෙනුවෙන්. තරුණයන් පාරට බැස්සාම මොවුන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකියි.‘‘

