‘විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග‘


(අජන්ත කුමාර අගලකඩ)
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත්කර  තිබේ.
 
 ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.
 
 සම්පත් අමරතුංග මහහතා අද(02) පස්වරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා  අතින්  සිය පත්වීමේ ලිපිය ලබාගත්තේය.
 
2014 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් වූ සම්පත් අමරතුංග මහතා මේ වන විටත් එම ධුරයේ කටයුතු කරයි.
 
ඔහු විශ්ව විද්‍යාල පද්ධතියේම සිටින ජ්‍යෙෂ්ඨතම  උපකුලපතිවරයාද වෙයි.විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ හිටපු සභාපතිවරයා ද  වූ ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ  දකුණු ආසියානු කලාපීය  නියෝජිතයෙක්ද වෙයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ  සමිති සම්මේලනයේ  හිටපු සභාපතිවරයකු ද වන අමරතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත්  ආදී සිසුවෙකි.

 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියකුද වන ඔහු එහි කළමණාකරණ පීඨයේ ආචාර්යවරයකු ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළේය.

 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය මොහාන් සිල්වා මහතාගේ සේවා කාලය අවසන් වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය.