‘විල්පත්තුවට හානියක් නෑ‘


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් කර නැති බවත්, ඉදි කිරීම් කර ඇත්තේ ඉන් ඔබ්බෙන් පිහිටි අභය භූමියේ බවත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරයකින් තොරව අභයභූමියක ඉදි කිරීම් කළ නොහැති බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

හිටපු පරිසර ඇමැතිවරයකු ලෙස විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන කීමට ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් විමසීය.

‘විල්පත්තුව ජාතික උද්‍යානයක්. ඊට සැතපුමක වගේ පෝෂක ප්‍රදේශයකුත් අයිතියි. එම ප්‍රදේශයේ කිසිම සංවර්ධනයක් හෝ පදිංචි කිරීමක් හෝ කරන්න බැහැ. විල්පත්තුවේ ඉදිකිරීම් කරනවා කියන්නේ බරපතල තත්ත්වයක්. වාර්තාකරණයේ දී පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි.

යුද්ධයෙන් පසු විල්පත්තුව විවෘත කළේ මමයි. එම ප්‍රදේශ ගැසට් කළේ මමයි. විල්පත්තුවේ හැම තැනම ගිහින් තියන පුද්ගලයකු ලෙස කියන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිසිම ඉඳි කිරීමක් කර නැහැ.

මේ කියන ඉදි කිරීම් කර තිබෙන්නේ අභය භූමි ප්‍රදේශයේ. යම් යම් අවස්ථාවල ජනාවාසය සඳහා අභය භූමි ප්‍රදේශ ලබා දෙනවා. ඒ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසර ඇතිව. අම්පාර නගරය තියෙන්නෙත් අභය භූමියක තමයි. බොරලැස්ගමුව, හම්බන්තොට ආදී නගරත් තිබෙන්නේ අභයභූමියක් ලෙස ප්‍රකාශ කළ පැතිවල.

අභය භූමියක ඉදි කිරීමක් කරනවා නම් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අවසර ගත යුතුයි. දේශපාලනඥයන්ටයි, දිසාපතිටයි ඕන විදියට ඉදිකිරීම් කරන්න දෙන්න බැහැ.‘