විල්පත්තුවේ මෝදගම් ආරු නදිය ආසන්නයේ අක්කර 800ක් ආසන්න වනාන්තර ප්‍රේරක කාලපය මහජන කටයුතු සඳහා යැයි පවසමින් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අත්පත් කැර ගැනීමට කටයුතු කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් භූමියේ විවිධ ඉදිකිරීම් කරන බවට පසුගිය කාලය පුරාම චෝදනා එල්ල කෙරිණි. ඒ සඳහා රජයේ අමාත්‍යවරුන්ගේ ද සහාය ඇති බව පැවසුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වන විනාශය නවතා දැමිණි.
එසේ වුව ද විල්පත්තුව උතුරු අභය භූමියේ ව්‍යාධිකුලම් වැව අසළ ඝන කැලෑවේ අක්කර හතරකට වැඩි ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති අයුරු එහි සංචාරය කළවිට දැකගන්නට හැකිවිය.
පරිසරවේදීන් පවසන්නේ විල්පත්තු ප්‍රේරක කලාපයේ පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානය පිහිටි මුල්ලිකුලම හරණ නාවික කදවුර විසින් වටකර ඇති වාන්න්තරය යළි නිදහස් කරන ලෙස මන්නාරම දිසාපතිවරයා ඉල්ලීමක් කර ඇති බවයි.
මේ සදහා සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි අනාවරණය වෙයි.
මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි. එස්. දේශප්‍රිය මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“තවම එහෙම තිරණයක් අරගෙන නෑ. මම එවැන්නක් දන්නේ නෑ පසුගිය කාලයේ මාධ්‍යයෙන් මාව නැති කළා. විල්පත්තුව විනාශ කළා කියලා නමුත් මම එහේම කළේ නෑ. අනික විල්පත්තුවට කිසිම හානියක් කරලා නැ. මම තනිවම මන්නාරම ඉඳගෙන වැඩ කරන එකයි තියෙන ප්‍රශ්නය අනික පසුගිය කාලයේ ඔය ප්‍රදේශවල ඉදිකිරීම් තහනම් කරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් නැහැ. “
දිසාපතිවරයා එසේ කීව ද 2015-11-18 වැනි දින එම්.එන්./එල්.බී./එල්.එල්.ආර්.සී./එම්.සී./2015 මන්නාරම දිසාපතිවරයා විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවූ ලිපියකින් ඉල්ලා ඇත්තේ දැනට නාවික හමුදා කදවුරට අයත් ඉඩමෙන් කොටසක් නැවත මහජන කටයුතු සදහා නිදහස් කරදෙන ලෙසයි. දැනට ඒ පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශය සුදුසු පියවර ගනු ඇති බවත් එම ලිපියේ ම වැඩිදුරටත් සදහන් වේ. ඉඩම නිදහස් කළ පසු කුමන ක්‍රියාමාර්ගය ගන්නේ දැයි යන්න තවමත් ස්ථිරව නිගමනය කර නැතැයි ද දිසාපතිවරයා තම අත්සනෙන් යැවූ ලිපියේ දක්වා තිබීම පුදුමයට කරුණකි.
‘‘ මේ ඉඩම් නිදහස් කිරීම ජාතික වැඩපිළිවෙළකි. එබැවින් එම තීරණය ක්‍රියාත්මක කිරිමට මා නිලධාරන් බැඳී සිටින බව සදහන් කරනු කැමැත්තෙමි.“ යනුවෙන් ද දිසාපතිවරයා ලිපියේ සඳහන් කර ඇත.
මේ පිළිබඳව තිරසාර සංවර්ධන හා වන ජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ගෙන් විමසූ විට “මන්නාරම දිසාපතිවරයාට කිසිම අයිතියක් නැහැ ගැසට් මගින් වනජීවී දෙපාර්තමේන්තුවට පවරා ඇති ඉඩම් නැවත එතුමාගේ භාරයට ගන්න. මම මේ ගැන විශේෂ පරික්ෂණයක් ආරම්භ කරන්න කටයුතු කරනවා“ යැයි කීවේය.






