‘විමල්ගේ ප්‍රශ්නයට අගමැති මැදිහත්වීම වැරැදියි‘


ව්‍යාජ ගමන්බලපත්‍රය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වීම තරයේ ප්‍රතික්ෂේප කරන බව ජාතික සමගි පෙරමුණේ නායක සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි කොළඹ කොල්ලුපිටිය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අසාද් සාලි පැවසීය.

එවැනි වරදක් වෙනත් පුද්ගලයකු කළේ නම් ඔහු අනිවාර්යයෙන්ම දින 14ක් රිමාන්ඩ් කරන බවද ඔහු එහිදී කීවේය.

‘වත්මන් රජයේ අය වැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කරන තුරු අප සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. වත්මන් රජය මාස 6කට ඉදිරිපත් කළ අය වැයෙන් භාණ්ඩ මිල අඩු වුවද අය වැයකින් තොරව භාණ්ඩ මිල වැඩිවන ආකාරය මේ දිනවල දකිනවා. මුදල් ඇමැතිගෙන් බලාපොරොත්තු වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර ජීවන වියදම අඩු කරවීමයි. ප්‍රභූ පුතකුගේ විදේශීය බැංකු ගිණුමක ඩොලර් මිලියන ගණනක් ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණා. රජය ඒ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හෙළි කර නැහැ. වත්මන් රජය සොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන්න මෙහිදී ජනතාවට ගැටළුවක් මතුවීම වැළැක්වීමට නොහැකියි‘ යනුවෙන්ද අසාද් සාලි කීවේය.