ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිඥ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත් කිරීම පිළිබඳව විවිධ අංශවල කතාබහට ලක්වී ඇති හෙයින් ඒ පිළිබඳව කරුණු පැහැදිළි කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් නියමිත කාර්ය පටිපාටිය අනුගමනය කළේ ද යන්න අගවිනිසුරු, නීතිපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පැහැදිළි කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය/කැෆේ සංවිධානය විසින් කරන ලද මුලික නිරීක්ෂණ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් එම ඉල්ලීම සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවත් පෙනී ගොස් තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පත් කිරීම සදහා එකඟත්වය දී ඇති බවත් අගවිනිසුරුවරයාගේ අනුමැතිය හෝ නිර්දේශය මත මෙම පත්වීම දී ඇති බවත් ඔහු කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) (අ) ව්‍යවස්ථාවට අනුව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම සදහා, නීතිපතිවරයාගේ විමසීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ලැබු නිර්දේශයක් ජනාධිපතිවරයා විසින් ලබාගත යුතුය. තමන්ගේ නිරීක්ෂණ අනුව එම පටිපාටිය ක්‍රියාත්මක වී ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

