‘ආසියා ශාන්තිකර කලාපීය ග්‍රාමීය කෘෂිකාර්මික ණය සංවිධානයේ’ මෙවර විධායක කමිටු රැස්වීමේ සහ සැසිවාරයේ සත්කාරකත්වය දැරීම ලංකා බැංකුව හිමි කරගත් විශේෂ වරප්‍රසාදයක් යැයි එම සංවිධානයේ උප සභාපති සහ ලංකා බැංකුවේ මහ කළමනාකාර සෙනරත් බණ්ඩාර මහතා පැවැසීය.
මේ ඔස්සේ කලාපීය සාමාජිකත්වයට සහ මූල්‍ය ස්ථාවරත්වයට අදාළ වන නවීන ක්‍රමෝපාය හඳුන්වාදීමට හැකි අවස්ථාවක් නිර්මාණය වන බව ද සෙනරත් බණ්ඩාර මහතා කීය.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ආසියා ශාන්තිකර කලාපීය ග්‍රාමීය කෘෂිකාර්මික ණය සංවිධානයේ කලාපීය ප්‍රතිපත්ති පිළිබඳ සමුළුවේ (ඒ.පී.ආර්.ඒ.සී.ඒ.) 70 වැනි විධායක කමිටු රැස්වීම සහ 21 වැනි සැසිවාරයේ ආරම්භක අවස්ථාවකට එක් වෙමින් ඔහු ඒ බව පැවැසීය.
“ ශ්‍රී ලංකා රජයේ තිරසාර ආර්ථික සංවර්ධන වැඩසටහන් සඳහා සක්‍රිය දායකත්වයක් සපයන ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා මූල්‍ය සහාය නිරන්තරයෙන් සපයනවා. ග්‍රාමීය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් තම මූල්‍ය දායකත්වය සපයනවා” යැයි ද එහිදි අදහස් දැක්වූ සෙනරත් බණ්ඩාර මහතා කීවේය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ආරම්භක දිනයේ ප්‍රධාන දේශන පැවැත්වූහ.
ආසියා ශාන්තිකර කලාපීය ග්‍රාමීය කෘෂිකාර්මික ණය සංවිධානය 1977 දී ආසියා ශාන්තිකර කලාපයේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම, ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම යන කරුණු පෙරදැරි කරගෙන ස්ථාපිත කරන ලදි.
එමගින් රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන තොරතුරු හා විශේෂඥ දැනුම් හුවමාරුව ද සිදු වේ. වර්තමානයේදී මෙම සංවිධානය අනුබද්ධ ආයතන 83කින් සමන්විත අතර කලාපීය රටවල් 24ක් තුළ ව්‍යාප්ත වී ඇත.
055


