‘විදුලි බිල වෙනස් නොක‍ළොත් වර්ජනය කරනවා‘


විදුලි ගාස්තුවට කළ නව සංශෝධන අහෝසි කර පෙර තිබූ තත්ත්වයටම පහළ නොදමන්නේ නම් සංවිධානය කළ පරිදිම මැයි 21 වැනිදා ඒකාබද්ධ වැඩ වර්ජනය සහ ජාතික විරෝධතා දිනය   ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව ලිපියක් මගින් ජනාධිපතිවරයාට අද දන්වා ඇත.

සියලු සංශෝධනවලින් පසුව ද විදුලි බිලෙහි සියයට සියයකින් ගාස්තු වැඩිවීමක් සිදුව ඇතැයි කියන එම කමිටුව ඒකක 61 සිට 180 දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ඉහළ දැමූ ගාස්තු ඒ අයුරින්ම ගෙවන්නට සිදුව ඇතැයි ද සිය ලිපියෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කියා සිටී.

ඒ අනුව වාර්ෂිකව රුපියල් කෝටි 2400 කට වැඩි මුදලක් සාමාන්‍ය ජනතාවගේ විදුලි බිලට එකතු කර අය කර ගැනීම බරපතල අසාධාරණයක් යැයි කියන එම කමිටුව නාස්තිකාර වියදම් හා අසාර්ථක ව්‍යාපෘතිවලට යට කරන මුදල් අඩු කොට ඔවුන්ට සහන දිය නොහැකි මන්දැයි විමසා සිටී.

වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් තාවකාලික කැඳවුම්කාර කමිටුව හැටියට චන්ද්‍රගුප්ත තේනුවර, මහින්ද ජයසිංහ, සුනිල් ද සිල්වා, කේ.වේලායුදන්, මුදිත කරුණාමුනි, ඇන්ටන් මාකස් හා වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ අස්සන්වලින් යුක්තව ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.