උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් දෙමළ ජනතාව යළි නන්දිකඩාල් කලපුව දෙසට තල්ලූ කරමින් සිටිතියි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
දෙමළ ජනතාව යළි කාලකන්නි යුද්ධයකට ඇද දැමීමට විග්නේෂ්වරන් උත්සාහ කරතත් යළි යුද්ධයකට ඇදී යන්නට දෙමළ ජනතාවට කිසිසේත්ම වුවමනාවක් නැතැයි ඔහු කීවේය.
‘දෙමළ ජනතාවගේ සිහිනය උතුරේ සංවර්ධනයයි. මහ ඇමැති කළ යුත්තේ ඊට දායක වීමයි. උගතකු බුද්ධිමතකු වූ විග්නේෂ්වරන් කටයුතු කරන අන්දම නම් කනගාටුදායකයි. අපි විග්නේෂ්වරන් ගේ ක‍්‍රියා කලාපය හෙළා දකිනවා. දමිළයන් නැගිටිව් කියා ගෝත‍්‍රවාදය මතු කරමින් ඔහු මේ දෙමළ ජනතාව අරගෙන යන්නේ කවර තැනකටද?‘
‘උතුරේ සිටි විසිඑක්දහසක් සිංහල ජනතාවට මොකද වුණේ? රජයට මේ ගැන සෙවීමේ වගකීමක් තියෙනවා. උතුරේ කෙතරම් සිංහල ජනතාවක් සිටියාද යන්නත් අද කීදෙනෙක් සිටිනවා ද යන්නත් සොයා බැලිය යුතුයි. පළමුවෙන් උතුරේ සිටි සිංහල ජනතාව පළවා හැරියා. ඊළඟට එහි සිටි මුස්ලිම් ජනතාව පළවා හැරියා. සිංහල දෙමළ ජනතාව අතරේ බෙදීමක් ඇති කළා‘ යැයි ද ඔහු කීවේය.