රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශ වාසීන්ගේ විරෝධතාවයට වෙඩි තැබූ අවස්ථාවේ වැලිවේරිය කතෝලික දේවස්ථානයේ දී ද හමුදාවෙන් පහර දීමක් සිදුවී ඇති බව හා පහරදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව අනාවරණය වීයැයි රජයේ අධිනීතීඥ පද්මාල් වීරසිංහ මහතා අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥවරයා එලෙස දැනුම් දුන්නේ රතුපස්වල වෙඩි තැබීමෙන් තිදෙනකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීමේ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
වෙඩි තැබීමේ සිද්ධිය ගැන එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය අද මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
බස්නාහිර පළාත භාරව එවකට සිටි තමා මෙම ගැටළුව විසඳීමට උත්සාහ කළත් පළක් නොවූ බව ද, වැලිවේරියට යුද හමුදාව ගෙන්වූයේ කවුරුන්දැයි තමා නොදන්නා බව ද අනුර සේනානායක මහතා දැන්වීයැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිදුවීමේ විමර්ශන රහස් පොලිසියට පැවරීමට පොලිස්පතිවරයාට සිදු වූයේ එළින් විමර්ශන පැවැත්වූ රහස් පොලිසිය හරි හැටි විමර්ශන සිදු නොකිරීම නිසා බව ද රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

