ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ නාමිකව පමණක් බවත් දුප්පත් සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමේදී නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවන බවත් කියමින් ප්‍රශස්ත ගුරු සේවාවක්, තරගය අවම කිරීම හා වර්ගීකරණය යන අංශ යටතේ අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර ගන්නැයි ඉල්ලමින් නිදහස් අධ්‍යාපනය සඳහා රජරට එකමුතුව සංවිධානය කරන අධිෂ්ඨාන පූජාව මාර්තු 12 වැනිදා සවස 3 ට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය අභියස පැවැත්වීමට නියමිතය.
සංවිධානයේ කැඳවුම්කරුවන් වන උතුරු හා උතුරු මධ්‍යම දිසාවන්හි සංඝනායක මහමංකඩවල පියරතන නාහිමි (එප්පාවල හාමුදුරුවෝ) සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් එදින අනුරාධපුර සිංහ කණුව අසල සිට පෙරහරින් ගොස් අධිෂ්ඨාන පූජාව පැවත්වීමට කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර මට්ටමේ ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කරවා ගැනීම, යහපත් පුරවැසිභාවය දිරිගන්වන විෂය මාලාවක් නිර්මාණය කරවා ගැනීම, පාසල් හා උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය විධිමත් හා ක්‍රමවත් කරවා ගැනීම, අඩු ආදායම් ලාභී පවුල්වල ළමයිනට ප්‍රමාණවත් ශිෂ්‍යාධාර ලබා ගැනීම, සියලු ළමයින්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා ගැනීම, නිදහස් අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6%ක් වෙන් කරවා ගැනීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරවා ගැනීම යන කරුණු ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුළත්ය. මේ සම්බන්ධයෙන් අගමැතිට හා ජනපතිට දැනුම් දුන්නද මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බවද පියරතන නාහිමියෝ කීහ.


