අවශ්‍යතාවයක් සඳහා වැලිගම පොලිසියට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුට හා වාහන හිමිකරුවන් කිහිප දෙනකුට ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දී සිරභාරයට ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
සංචාරකයින් ප‍්‍රවාහනය කරන වෑන් රථයක් වැලිගම කුඹල්ගම හන්දිය ආසන්නයේදී තාප්පයක ගැටීමෙන් එහි සිටි සංචාරක මගපෙන්වන්නා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබූ අතර දැඩි ලෙස අලාභ හානි වී තිබූ වෑන් රථය වැලිගම පොලිසිය භාරයට ගත් බවත් එම අනතුර සම්බන්ධව වැලිගම පොලීසිය පරීක්ෂණ සිදු කර අනතුරට පත් වෑන් රථය මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ දිස්ත‍්‍රික් පරීක්ෂක මහතෙකු ලවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය ලබාගැනීමට පොලිසියට පැමිණෙන්නැයි කළ දැනුම්දීමක් අනුව එහි ගිය බවත් වෑන් රථයේ රියදුරු පවසයි.
වෑන් රථ හිමිකරු වූ, නින්දාන, පෙට්ටිමඩුව පදිංචි, එස්. ඩබ්. රසික ලක්මාල් (30), බටපොළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. එච්. සංගීත් (17) වෑන් රථ හිමිකරුගේ මස්සිනා වන කාහිංගල චම්ලි ප‍්‍රීතිවිරාජ් හා දොඹකර රථයක රියදුරු හා සහායකයන් වන තල්ගස්වල, මාපලගම පදිංචි ආනන්ද ජයසුන්දර (46) හා එම්. චතුර (28) යන අය එසේ පොලිසියට ගිය බවත් එහිදී පහරකෑමට ලක්ව සිරභාරයට පත්වූ බවත් කියති.
අනතුරින් දැඩි ලෙස හානිව තිබූ මුදාගත් වෑන් රථය ඇදගෙන යාමට අම්බලන්ගොඩින් දොඹකර රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කර එය පැමිණෙන තෙක් මෙම පිරිසට වැලිගම පොලිස් භූමියේ රැඳී සිටි බව ඔවුහු කියති. එසේ සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ආපදා රථයේ රියදුරාට අතින් පයින් පහරදෙමින් පොලිසිය තුළට ඇදගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
සෙසු අයද පොලිසිය තුළට ගෙන්වා කිසිම කරුණු විමසීමකින් තොරව ඔවුන්ට ද අතින් පයින් පහරවල් එල්ල කරමින් ඔවුන් සතුව තිබූ මුදල් පසුම්බි, දුරකථන ලබාගෙන එදින රාත‍්‍රී 07. 30 සිට පසුදා උදෑසන 10 වනතෙක් පොලිස් සිර මැදිරියේ ගත කළ බවත් තමන් සිරකර සිටින බවත් එයට හේතුවවත් පවුලේ ඥාතීන්ට වසන් කිරීම බරපතල අසාධාරණයක් බව නියොජ්‍ය පොලිස්පති වරයාට කළ පැමිණිල්ලේ සඳහන්ය.
පොලිසියෙන් කළ තර්ජන හේතුවෙන් ආපදා රථයේ රියදුරු හා සහායක පැමිණිල්ල කිරීමට නොපැමිණි බවත් පැමිණිලිකරුවෝ කියති.
පසුදින මොවුන් පොලිස් ඇප මත මුදාහැරි බවත් ‘අපේ ලොකු මහත්තයාට පොඩි වැරදීමක් වෙලා, ඕක ඒතරම් ගණන් ගන්න එපා‘ යැයි එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් තමන්ට කියාසිටි බවත් එම පැමිණිල්ලේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානාධිපති රොහාන් ඕලූගල මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ ගත්තද ඊට පිළිතුරු දුන් නිලධාරියෙකු පැවසුයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තකට පොලිසියෙන් බැහැරව ගොස් ඇති බවයි.
පාසල් සිසුවා
වෑන් රථයේ හිමිකරු
වෑන් රථ හිමිකරුගේ මස්සිනා




