‘වාද නැතී බේද නැතී ලස්සන රටක් ගොඩනගමු‘


ගිය වසරේ දිනාගත් නිදහස වඩාත් තිරසර, අර්ථ සම්පන්න කරගැනීමේ වගකීම දැන් අප සැම සතුය. ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවඅ ගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නිදහස් දින පණිවිඩයෙන් කියයි.

සදාචාරසම්පන්න දේශයක් ලෙස අප රට ඔසවා තබමින් ‘එකම දැයක් - මහ බලයක්‘ ලෙස සමස්ත ජනතාව එක්සත් කරමින් 68 වැනි නිදහස් දිනය සමරන්නට ලැබීම අප ලද ජයග්‍රහණයක් බවත් අගමැතිවරයා සිය පණිවිඩයෙන් කියයි.

‘යටත්විජිත භාවයෙන් රට මුදාගන්නට සියලු ජන කොටස් ඒකරාශී කර පෙරමුණ ගත්තා සේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීය හිමිකම් මර්දනය කරමින් ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්වෙමින් පැවැති අඳුරු වකවානුවක ඒකාධිපතිවාදයෙන් පවුල්වාදයෙන් රට මුදාගැනීමට අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු. ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය එහි විශිෂ්ටතම ප්‍රතිඵලයකි‘ යනුවෙන්ද වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තරය ඉදිරියේ මානව හිමිකම් සුරකින නිදහස් ගෞරවනීය රටක් ලෙස නැවතත් අපගේ අනන්‍යතාවය තහවුරු කරගනිමින් සිටින බවත් නීතිය, සාමය හා සංහිඳියාව සුරකිමින් දියුණු සමාජ ආර්ථික පරිසරයක් රට තුළ ගොඩනැංවීමේ භාරදූර කර්තව්‍යයද අප ඉදිරියේ ඇති බව අගමැති සඳහන් කර ඇත.