‘ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මැතිවරණය පවත්වන්න‘


ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඉදිරි මහ මැතිවරණය පවත්වන්නැයි ජාතික හෙළ උරුමය, සාධාරණ සමාජය සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක් සංවිධානය රජයෙන් ඉල්ලයි.

අද කොට්ටේ නාග විහාරයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් පැවසුවේ විධායක ජනපති බලතල සංශෝධනය කර, මැතිවරණ ක්‍රමය වෙනස් කොට, 17 වැනි සංශෝධනය ද ක්‍රියාත්මක කිරීමෙන් පසු මැතිවරණය පැවැත්විය යුතු බවයි.

මාදුළුවාවේ සෝභිත හිමි, ඕමල්පේ සෝභිත හිමි සහ අතුරලියේ රතන හිමියෝ මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයේ නායකයා ජනාධිපති වන නිසා මෙම සංශෝධන සම්මත කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් බවත්, යලි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැකි බවත්, මේ අවස්ථාවේ සියලු සංශෝධන සිදු කළ යුතු බවත් ඔවුහු කීහ.