‘වවුචර් දෙන්නේ වෙලාවට බෙදා ගන්න බැරි නිසයි‘


අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ළමයින්ට නිල ඇඳුම් රෙදි වෙනුවට හදිසියේ වවුචර ලබා දීමේ තීරණයකට එළඹ ඇත්තේ දෙසැම්බර 04 වැනි දාට පෙර රෙදි ලබා දීමේ වැඩපිළිවෙළ හරි හැටි කර ගැනීමට නොහැකි වීම නිසා යැයි ලංකා ගුරු සංගමය කියයි.

එම ගුරු සංගමය මෙසේ ද කියයි.

‘‘ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනය තුළ පෙළ පොත් හා නිළ ඇඳුම් රෙදි නොමිලේ ලබාදීම ඉදිරිගාමී පියවරක් විය.  1993 සිට කි‍්‍රයාත්මක නොමිලේ නිළ ඇඳුම් රෙදි ලබාදීම මිලියන 4.2 ක් පමණ සිසුන් සඳහා රුපියල් මිලියන 2300 ක වියදමින් සිදුවෙමින් තිබේ. මෙසේ තිබියදී වර්තමාන රජය නිළ ඇඳුම් රෙදි ලබාදීම වෙනුවට ඒ සඳහා වවුචරයක් ලබාදෙන බව සඳහන් කර ඇත. එවැනි තීරණයකට ඔවුන් එළඹී ඇත්තේ ප‍්‍රමිතයෙන් බාල රෙදි ලබාදීම හා ටෙන්ඩර් මගඩි හරහා අති විශාල මුදල් අවභාවිතාවක් සිදුවීම පදනම් කරගෙන යයි ද සඳහන් කෙරේ. 

එවැනි තත්වයක් පවතින්නේ නම් කළ යුත්තේ රජය මැදිහත් වී උසස් ප‍්‍රමිතියන් යුත් රෙදි ලබාදීම පිළිබඳ සොයා බැලීමක් හා දූෂණ තුරන් කරන ක‍්‍රමවේදයක් ටෙන්ඩර් පටිපාටියට ඇතුළත් කිරීමයි. එසේ ම අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරන පරිදි සිදුවී ඇති දූෂණ පිළිබඳ පරීක්ෂා කොට අදාළ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් නොකරන්නේ මන්ද යන්න ද බරපතල ගැටළුවකි. 

නව තීරණය බැලූ බැල්මට පළදායී නොවන අක‍්‍රමවත්, සිසුන් හා දෙමාපියන් පීඩාවට පත් කරන, රජයේ මුදල් තවදුරටත් අපතේ යන කි‍්‍රයාමාර්ගයකි. වර්තමානයේ ලක්ෂ 42 ක් පමණ දරුවන් සඳහා රෙදි සැපයීමේදී රජය රෙදි ලබා ගන්නේ ඍජුවම සැපයුම්කරුවාගෙනි. ඇසුරුම් ගාස්තු ලෙස වැය කර ඇත්තේ රු.8.50 කි. වවුචර් ක‍්‍රමය තුළ රෙදි මිළ නියම වන්නේ සිල්ලර මිළ අනුවය. සිල්ලර මිළට ඇසුරුම් සහා ප‍්‍රවාහන ගාස්තු පමණක් නොව තොග වෙළෙන්දාගේ සහ සිල්ලර වෙළෙන්දාගේ ලාභයද ඇතුළත්ය. අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරන පරිදි ඇසුරුම් සහ ප‍්‍රවාහන ගාස්තු වෙනුවෙන් රුපියල් මිලියන 800 ක් තමන් ඉතිරි කරන බව ප‍්‍රකාශ කිරීම හුදෙක් පළ රහිත ප‍්‍රකාශයකි. එසේම වවුචර් ක‍්‍රමයක් තුළ, රෙදි ලබාගන්නා ආයතනය පිළිබඳ විධිමත් තක්සේරුවක් නොමැති කමින් රෙදිවල ප‍්‍රමිතිය පිළිබඳ බරපතල ගැටළුවක් ඇතිවේ. පවතින ක‍්‍රමය තුළ කොළඹ, අනුරාධපුරය, යාපනය, මොණරාගල ආදී සෑම ප‍්‍රදේශයකටම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා උසස් ප‍්‍රමිතයෙන් යුත් නිළ ඇඳුම් රෙද්දක් ලබුනද, නව වවුචර් ක‍්‍රමය තුළ එම ප‍්‍රදේශවල වෙළඳසැල් හරහා සමාන ප‍්‍රමිතියෙන් යුත් රෙදි නොලැබෙන බව ස්ථිරය.  

අධ්‍යාපන ඇමතිවරයා මෙම වවුචර් ක‍්‍රමය තුළ නිළ ඇඳුම් මසා ගැනීමට ද මුදල් ලැබෙන බව  කියා තිබුණ ද මතුවන ගැටළුව වන්නේ වවුචර්යකින් රෙදි මිළ දී ගැනීමත්, මසා ගැනීමත් එකවර කළ හැකි ද යන්නයි. එසේ නම් රෙදි මිල දී ගත යුත්තේ ටේලර් සාප්පුවකිනි. රජය ලබාදෙන්නේ නිළ ඇඳුම් රෙදි මිස නිමි ඇඳුම් නොවේ. 

අධ්‍යාපන අමාත්‍යාංශය නිළ ඇඳුම් රෙදි ලබා දීමේ ගැටළු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කළේ නම්, 2016 වසර සඳහා නිළ ඇඳුම් රෙදි ලබාදීමට 2015.05.25 දින ටෙන්ඩර් කැඳවූයේ ඇයි ද යන්න ගැටළුවකි. එසේම 2015.11.03 දින අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික කළමනාකරණයට අදාළ කැබිනට් අනු කමිටුව පාර්ලිමේන්තුවේ කමිටු කාමර 3 හි නිළ ඇඳුම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් ද කර ඇත. එසේ තිබියදී මෙම හදිසි තීරණය ගන්නේ එවැනි සාකච්ඡාවලින් හෝ නිළ ඇඳුම් රෙදි ලබාදීමේ ප‍්‍රමාදය වළක්වා ගත නොහැකි වීම තුළය. 

නිළ ඇඳුම් 2016 ජනවාරි මස පාසල් ආරම්භයේ දී ඇදීමට නම් එය 2015 අවසාන වාර නිවාඩුවට පෙර ලබාදිය යුතුය. ඒ සඳහා වන නොහැකියාව වසා ගැනීමට වවුචර් ක‍්‍රමයක් හදිසියේ කඩාපාත් කර සිසුන්ගේ හිමිකම් අහිමි කිරීම නතර කරන ලෙසත්, විධිමත්ව නිළ ඇඳුම් රෙදි කට්ටලයක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිසුන්ට ලබාදීම වෙනුවට දෙමව්පියන් හා සිසුන් වෙළඳසැල්වල පෝලිම් ගස්වා රෙදි ලබාගැනීමට සැලැස්වීම නතර කරන ලෙසත්, වහාම උසස් ප‍්‍රමිතියෙන් යුත් නිළ ඇඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු.‘‘