‘වරාය සේවකයන්ගේ දීමනාවේ වෙනසක් නෑ‘


වරාය අධිකාරියේ ප්‍රශ්න අවසන් වී නැතත් මෙම වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලු  සේවකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කළ බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (31) පැවැති අමාත්‍යාංශ ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමේදී පැවසීය.

 “පසුගියකාලේ ත්‍රිකුණාමලය වරාය පළමු වරට ලාභ ලබන වරායක් බවට පත්වුණා. ඒවගේම මෙවර ගාලු වරායේ ලාභය දෙගුණයක් වැඩිවෙලා තියෙනවා. කොළඹ වරායේ ඵලදායීතාවය ඉහළ නංවා තියෙනවා. මේ සියල්ලම සමග පසුගිය කාලේ තිබුණ වෘත්තීය සමිති ගැටළු හුඟක් දුරට නිරාකරණය කිරීමට අපිට හැකි වුණා. අවශ්‍ය පහසුකම් අපේ සේවකයින්ට ලබා දුන්නා. අද අපේ සේවකයෝ තේරුම් අරන් ඉන්නේ මේ වෘත්තීය සමිති නායකයෝ කිහිපදෙනෙකු එකතුවෙලා කළ දේවල්වලින් මේ වරායට මොනවගේ නරක නාමයක් ඇතිවුණාද, ඒවගේම මොනවගේ මුදලක් නැතිවුණාද කියන කරුණ‘‘ යැයි ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වසරේදී ප‍්‍රසාද දීමනා සඳහා සම්පූර්ණයෙන් වැය කළ මුදල  රුපියල් 538646578.86 හෙවත් මිලියන 538.6 ක් බවත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය ප‍්‍රසාද දීමනාව ගෙවනුයේ අප්‍රේල් සහ දෙසැම්බර් ලෙස වාරික දෙකකින් බවත් කී ඇමැතිවරයා එම පදනම මත පසුගිය වසරේදී එක් සේවකයකුට එක් වාරිකයක් සඳහා ගෙවූ මුදල රුපියල් 30, 088 ක් නමුත් මේ වසරේ අපේ‍්‍රල් ප්‍රසාද දීමනාව රුපියල් 25, 943 ක් වූ බවත් කීවේය.

පසුගිය වසරේ අපේ‍්‍රල් වාරිකයට සාපේක්ෂව මේ වසරේ අපේ‍්‍රල් වාරිකයේදී අඩු වූ මුදල එක්වරක් පමණක් ගෙවනු ලබන විශේෂ දීමනාවක් ලෙස පසුව සියලුම සේවකයින්ට ලබා දුන් බවත් මෙවර දෙසැම්බර් වාරිකය එවැනි වෙනස්වීම්වලට ලක් නොකරන බවත් ඒ අනුව දෙසැම්බර් මාසයේදී  රුපියල් 30,088 ක දීමනාව ලබාදෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.