‘වගා කළත් වැඩක් නෑ‘


උතුරුමැද, මධ්‍යම හා වයඹ ගොවීන්ගෙන් දින හයකට පෙර මිලට ගත් වී වලට මුදල් මෙතෙක් ගෙවා නැතැයි ගොවියෝ කියති.

ඔවුහු වී මිලට ගෙන වවුචරයක් දුන්නත් බැංකුව කියනුයේ මුදල් නැති බවයි.

බැංකු නිලධාරීන් කියා සිටින්නේ වී අළෙවි මණ්ඩලයේ බැංකු ගිණුම් වසා දමා ඇති බවයි.

වී අළෙවි මණ්ඩලයේ සභාපති කේ බී ජයසිංහ මහතා පැවසුවේ ගොවීන් මුවාවෙන් ව්‍යාපාරිකයන් වී අළෙවි මණ්ඩලයට වී තොග අළෙවි කිරීම නිසා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට අවශ්‍ය නිසා මුදල් දීම ප්‍රමාධ වන බවයි.

ගොවියනට පමණක් නිකුත් කැරෙන පෝරමය ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් රුපියල් දෙදහකට මුදලාලිලාට විකුණතියි කියති.

වී අළෙවි මණ්ඩල ඇතැම් කළමණාකරුවන් කියනුයේ මුදල් ලැබීමේ ප්‍රමාධයක් පවතින බවයි. ව්‍යාපාරිකයන්ගෙන් වී මිලදී ගැනීමක් සිදු නොවන බවත්, පළාතේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාර නිලධරයාගේ අධීක්ෂණය යටතේ ගොවීන්ගෙන් පමණක් වී මිලදී ගන්නා බවත් ඔවුහු කියති.

සම්බා කිලෝව රුපියල් 35ට ද, නාඩු කිලෝව රුපියල් 32ට ද වී අළෙවි මණ්ඩලය කියයි.

ගොවියකුගෙන් ගන්නා උපරිමය කිලෝ 5000කි.

පෞද්ගලික වෙළෙන්දෝ නාඩු රුපියල් 20-22ට ද, සම්බා රුපියල් 25-30ට ගනිති.