‘ලෝක බලවතුන් මෙහේ එන්නේ ඉඩම බලන්න එනවා වගේ‘


(විනීතා එම් ගමගේ)

ලෝක බලවතුන් පිට පිට මේ රටට එන්නේ අපේ රට ඔවුන්ගේ කෙළි බිමක් බවට පත් කරගෙන ඇති නිසා බවත් ,ඔවුන්  මෙහි එන්නේ  තමන්ට අයිති ඉඩමක් බලන්නට එන අයුරින්  බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය අහෝසි කර ඇති නිසා  එසේ සිදුවන බවත්,  ඔවුන් පැමිණ රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිභාවයට ඇඟිලි ගසන බවත් හෙතෙම කියා සිටියේය.

වත්මන් රජයත් පෙර පැවති රජයත් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
 
නිරෝධායන නීති පවා නොතකා චීනයේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් පසුගිය අටවැනිදා පැමිණි අවස්ථාවේ ඔවුන් පිළිගන්නවා හැර වකල්පයක් ආණ්ඩුවට නොතිබු බව කී ලේකම්වරයා ඔවුන් ආපසු ගිය වහාම ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් දිස්ත්‍රික් හතරකට කොන්සල්වරයෙක් පත් කළ බව ද යාපනය මහනුවර දිස්ත්‍රික් දෙකට දෙදෙනෙක් සිටිය දී තවත් අයෙක් පත් කරන ලද්දේ කුමකට දැයි විමසා සිටියේය.
 
දේශපාලන උපායමාර්ග පිළිබඳව කිසි අවබෝධයක් නැතිව හෝ ඇතිව එන එන දූතයින් පිළිගන්නට ආණ්ඩුවට සිද්ධ වී ඇතැයි ද හෙතෙම පැවැසීය. 
 
එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමාන තත්ත්වයන් ශ්‍රී  ලංකාවටත් ඇති බැවින් ඕනෑම රටක් සමග ස්වාධින ස්වෛරි රාජ්‍යයක් ලෙස ගණු දෙනු කළ හැකි බව රජය වටහා ගත යුතු යැයි ද මෙසේ බලවතුන්ට යටවන්නට සිදුව ඇත්තේ රටේ ණය කන්දරාව හේතුවෙන් යැයි ද කී ටිල්වින් සිල්වා මහතා ණයට කන ආර්ථිකය විසින් ශ්‍රී ලංකාව හැම රටකම අතවැසියෙක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය. 
 
ණය ලබාගෙන වැඩි ප්‍රමාණයක් කර ඇත්තේ වංචාව දූෂණය හා නාස්තිය යැයි ද ණය යොදා සිදුකළ ව්‍යාපෘතිවලින් කිසිවක් ලාභ නොලබන්නේ යැයි ද පැවසූ ජවිපෙ ලේකම්වරයා හම්බන්තොට වරාය චීනයනට දෙන්නට සිදුවූයේ මේ නිසා යැයි ද පැවසීය. කෙසේ වෙතත් දේශිය ආර්ථිකයක් ගොඩ නගන බව කියමින් බලයට ආ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ කී කතා බොරු දේශප්‍රේමී කතන්දර පමණකැයි ද ණය උගුල නිසා රට පරාධීන වී ඇතැයි ද කියා සිටියේය.

 රටේ වටිනා සම්පත් ඉඩම් විකිණීම ඇර වෙන විසඳුමක් ආණ්ඩුවට නැතැයි පැවසූ ඔහු මේ නිසාම ලෝක බලවතුන් අපේ රටේ දේපොළ සහ දේශපාලනය කරන තත්ත්වයක් ඇති ව ඇතැයි ද ලෝක බලවතුන් සමඟ ගණුදෙනු කිරීමේ දී ප්‍රතිපත්තියක් තබා ගන්නැයි තම පක්ෂ්‍ය රජයට බල කර කියා සිටින්නේ යැයි ද ලේකම්වරයා පැවැසීය.