අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කථාව
‘අද මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය පුරවැසියෙක්ට රාජ්‍ය ගෞරව සහිතව අදාහනය සිදුකරනවා. මාදුළුවාවේ සෝභිත හිමි මහනායක හිමිකෙනෙක් නෙමෙයි. රදගුරු ප්‍රසාදීන් කෙනෙක් නෙමෙයි. රාජ්‍ය නායකයෙක් නෙමෙයි. වෘත්තීය සමිති නායකයෙක් නෙමෙයි. දානපතියෙක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක්. උන්වහන්සේ බුදුන් වහන්සේගේ අඩි පාරේ යමින් ධර්මය දේශනා කළ යතිවරයාණන් වහන්සේ නමක්.
උන්වහන්සේගේ දේශනා බුද්ධ වචනයට සීමා වුණේ නෑ. මේ රටේ ජනයාට ජීවත්වෙන්න පුළුවන් යහපත් සාධාරණ සමාජයක් ඇති කරන්නත් නීතිය පරමාධිපත්‍ය තහවුරු කරගන්නත් ශ්‍රී ලාංකික ජනතාව එකමුතු කරගන්නත් උන්වහන්සේ උත්සාහ ගත්තා.
ඉන්දියාවේ අප්‍රිකාවේ ඒ සාධාරණ සමාජ තිබුණා. ලංකාවේ ජනතාවට ඒ සාධාරණය ලබාගන්න උන්වහන්සේ දේශනා කළා.
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සියලු දෙනා එකතු කරගන්නයි උන්වහන්සේ ක්‍රියා කළේ. ඒ නිසා ඒ සටන මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරියට ගෙන ගියා. කිසි කාරණයක් ගැන බය වුණේ නෑ. අන්තිම වර්ෂයේ උන්වහන්සේ සෞඛ්‍ය ගැන හිතන්නේ නැතිව වැඩ කළා. උන්වහන්සේ සිංගප්පූරුවේ ගෙන ගිහින් ප්‍රතිකාර කළා. කොළඹදී ආරෝග්‍ය ශාලාවේ කාමරේ ඉඳගෙනත් මේ රටේ අනාගතය ගැන කතා කළා. ඒ නිසා මේ අවස්ථාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීම අප සියලු දෙනාට විශාල පාඩුවක්. අපට පුළුවන් එකම කාරණය උන්වහන්සේ බලාපොරොත්තුවුණ යහපත් සමාජයක් ඇති කිරීමේ පාලන ක්‍රමය ක්‍රියාත්මක කරන්න අපි කැපවෙලා ඉන්නවා. උන්වහන්සේගේ සේවයට ස්තූති කරමින් සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.‘

