‘ලංකාව ඉදිරියටම යනවා‘


ශ්‍රී ලාංකිකයන්ට නැගී සිට තමන් සංහිඳියාව කෙරෙහිත් තිරසර සංවර්ධනය කෙරෙහි ගමන් කරමින් සිටින බවත් අභිමානයෙන් පැවැසිය හැකි බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ඌනා මැකෝලි අද (23) පැවැසුවාය. 

ශ්‍රී ලංකාවේ අභියෝග මැද ක්‍රමයෙන් ඉදිරියට යන බවත් සියලු පාර්ශව ඊට සහයෝගය දැක්විය යුතු බවත් මැකෝලි කීවේ අද කොළඹ බිෂොප්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති 71 වැනි එක්සත් ජාතීන්ගේ දින සැමරුම් උත්සවය අමතමිනි.

 “ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත් හා ප්‍රධාන සාමාජිකයෙක් මිතුරෙක් පමණක් නොව, ප්‍රධාන දායකකරුවෙක්, ප්‍රධාන විශේෂඥයෙක්, ප්‍රධාන උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද තිබෙන තැනට එන්නට සුවිශේෂී දායකත්වයක් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දිගු කාලීන සාමය, දේශගුණ විපර්යාස, සියලු දෙනාට රැකියා, දරුවන්ට අධ්‍යාපනය,  නූතන ශ්‍රම බලකායට සම්බන්ධව විය හැකි සුදුසුකම්ලත් තරුණයන්, වැඩිවන වැඩිහිටි ජනගහනය ශ්‍රී ලංකාවේ අනාගත දැක්මට සම්බන්ධයි. තිරසර සංවර්ධන ඉලක්කවලින් අපි එම අරමුණු සපුරාගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා. සාම්ප්‍රදායික හා නූතන ක්‍රම භාවිත කරමින් අපි ඉදිරියට යන බව කීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ඊට අප සියලු දෙනා සහයෝගය දිය යුතුයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇප කැප වී සිටිනවා. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරනවා. ශ්‍රී ලංකාව ඉහළ සංවර්ධිත රටක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සුන්දර දූපත තිරසර ඉලක්ක ළඟා කරගනිමින් සිටිනවා‘‘ යැයි ද ඇය කීවාය. 

DSC_1819 DSC_1824 DSC_1864