‘හෙළෝ සුට්ටං බට්ටිත්තෝ...
ඔයා දැන් මොකද කරන්නේ...
මං අපේ අම්මටත් ඔයා ගැන කිව්වා,
අපේ අම්මා කිව්වා ඔයාට
අපේ ගෙදර එන්න කියලා
සුට්ටං බට්ටිත්තෝ...’’
ඒ හඬ ඔබට වඩාත් හුරු ඇති. හඬ වගේම රුවත් අමතක වෙන්න විදියක්ම නැහැ. ඇය ශිරෝමිකා ප්‍රනාන්දුය. උතුම් පැතුම් නාට්‍යයේ කෝසලා ලෙස රඟපාන චරිතය සමග ඒ විදියට අපට හමුවක්, ‘‘මේ ආදරයයි’’ නාට්‍ය මාලාවේ දී ඇය අපට හමුවන්නේ හඬින් විතරයි. නමුත් එහි තෝෂී චරිතයට හඬ මුසු කිරීම නිසා මේ දිනවල ශිරෝමිකා ගැන වැඩි දෙනෙක් කතා කරන බව කියන්න පුළුවනි. ඒ හන්දාම අපි ඇය එක්ක මේ චරිතවලට එහා ගිය විස්තර ටිකක් කතා කරමු.

ශිරෝමිකා, මොන නමින්ද අපි ඔබට කතා කරන්න ඕනෑ..?
මට ඉතින් ශිිරෝ කියනවා, ශිරෝමි කියනවා. ඔය විදිය තමයි ඉතින්.
මහත්තයා ආදරයට අමතන්නේ?
හාද වෙච්ච දවස්වල නම් සුද්දි, අම්මි ඔය ඔක්කොම වගේ ඒ විදියට ඇමතුවා. පසුව ශිරෝ කිව්වා. දැන් ශිරෝමි. ඉදිරියට කොහොම කියාවිද දන්නේ නැහැ.
ශිරෝමිකා හරි විහිළුවෙන් සිටින කෙනෙක් නේද?
මං බොහොම සරලයි. සැහැල්ලූවෙන් පොළොවෙ පය ගහලා ඉන්න කැමතියි. කොහේ ගියත් මිනිස්සු අපට හරි ආදරෙයි. ‘ඔයා රඟපෑව නාට්‍ය හරි ලස්සනයි. ඔයාගේ හඬ අහන්න ආසයි.’’ ඒ වගේ දේ කියද්දී දැනෙන සතුට අපමණයි.
ශිරෝමිකා රූපය ගැන හිතන කෙනෙක් නෙවෙයි නේද?
ඇත්තටම නැහැ. ඒ වාසනාව මට අඩුයි. ගෙදර ගෘහණිය සහ මවගේ චරිතය මම කරන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා රූපය ගැන හිතන්න වෙලාවකුත් නැහැ. ළමයින්ගේ ඉස්කෝලේ වැඩයි ගෙදර වැඩයි, වෙනුවෙන් සතුටින් කාලය ගත කරනවා. අපේ අම්මා ඉන්නෙත් අපිත් එක්ක. ඉතින් මේ රඟපෑම් කටයුතුවලට අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ. මගේ පවුලේ විස්තර කිව්වොත් සැමියා ගාමිණී ඩයස් අබේගුණවර්ධන. (විශ්‍රාමික හමුදා නිලධාරී) අපේ දුවගේ නම තරුෂි. පුතා තරුෂ.
උතුම්-පැතුම් ‘කෝසලා’ චරිතය ගැන ඔබට හිතෙන්නේ කොහොමද?
විවාහයක් කර ගැනීමට ප්‍රමාද වූ කාන්තාවක්. ඉතින් එයාට ලැබුණු ආදරය නිසා මන්මත් වෙලා.
ඔබ එහෙම වුණේ නැද්ද කවදාවත්?
වුණා... වුණා... 1996 දී විතර. විවාහයෙන් කෙළවර වුණේ ඒ ආදරය තමයි.
මේ දිනවල ඒ උතුම්xපැතුම් චරිතයට අමතරව තවත් චරිත මොනවාද?
උතුම්-පැතුම් චරිතයට හාත්පස වෙනත් චරිතයක් දේවි නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව අකරවාඩිය නාට්‍යයේ තවත් වෙනස්ම චරිතයක්. නමුත් බොහෝ දෙනා අද කතා වෙන්නේ මේ ආදරයයි නාට්‍යයේ රමන්ගේ අම්මාගේ චරිතය නිසයි.
‘රූහි ඔයා ආවද මගේ පැටියෝ’’
ආ...ඉෂිිතා ඔව් ඉතින් ඔයාට වෙන වැඩක් නැහැනේ. ඔයාට තියෙන්නේ ඉතින් හොර වැඩ අල්ල, අල්ලා ඉන්න එක තමයි.’’
මේ වගේ ඒ දෙබස්වලට ගොඩාක් අය ආසයි. හැබැයි ඒ විදිහට ඒ තෝෂිගේ චරිතයට දෙබස් කවන්න පුළුවන් වුණේ, ඒ චරිතය රඟපාන ශිල්පිනියගේ දක්ෂතාවය නිසාමයි.
මේ තෝෂිගේ චරිතය ගැන මිනිස්සු මොනවද කියන්නේ?
ඇත්තටම අපේ මහත්තයා මට කියන්නේ, අනේ ශිරෝ ඒ හඬ ඒ චරිතය වෙතින් ගලා එද්දී, ඒ චරිතය රඟපාන නිළිය නොවෙයි ඔයාවයි මැවිලා පෙනෙන්නේ කියලා. ඇත්තටම මට නම් ටී.වී. එක බලද්දී ඒ හඬ කවලා තියෙන්නේ මමද කියලා මට අමතක වෙනවා. ඒ තරමටම ඒ ශිල්පිණිය හොඳට රඟපානවා.
එහි දෙබස් කැවීම්වලට ගිහින් වෙච්ච සිදුවීම් එහෙම තියෙනවාද?
එහෙමම නැහැ. මොකද අපි එක එක්කෙනා චරිතයට අදාලව දෙබස් කැවීම්වලට සහභාගී වෙනවා. ඔක්කෝමලා එකම වෙලාවට නෙවෙයි එන්නේ. ඒ නිසා අනෙක් අය හමුනොවෙන තරම්.
ඔබ රඟපාන මේ චරිත ගැන දුව පුතා මොනවද කියන්නේ?
අම්මේ - අම්මා හිනාවෙන චරිත විතරක් කරන්න එපා කියලා කියනවා. ඒත් මම කැමති හිනාවෙන චරිත කරන්නයි. මිනිස්සුන්ට දුක දෙන්න මම කැමති නැහැ අයියෝ.
ශිරෝමිකා මේ විදියට අද සරල චරිත එක්ක හමුවුණත් ඔබ කලාවට ආ අතීතය මේ විදිය නොවෙයි නේද?
මුලින්ම මම රඟපෑමට ආවේ මලිත් ඉන්ද්රනාත්ගේ ‘සද්ද බද්ද’ කියන වේදිකා නාට්‍යයෙන්. එය සරසවි නාට්‍ය උළෙලට තේරී මම හොඳම නිළිය සම්මානය ගත්තා. පසුව එය විනිශ්චයට ආ සුගතපාල ද සිල්වා ශූරීන්ගේ ඇරයුම මත දුන්නxදුනුගමුවේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවා. පසුව ධර්මසිරි බන්ඩාරනායකගේ ඒකාධිපති, මකරාක්ෂයා යන නාට්‍යයවල රඟපෑවා. වසර 28කට විතර පෙරදි මගේ ගමන පටන් ගත්තේ එහෙමයි.




