‘රාජිතට මාසෙට කෝටි දෙකක් දෙන්න හදලා‘


ඇවන්ගාඩ් සිද්ධිය ගැන කතා නොකර සිටීමට මසකට රුපියල් කෝටි දෙක බැගින් තමාට දීමට පුද්ගලයකු උත්සාහ කළ බවත්, අවශ්‍ය  අවස්ථාවේ ඒ ගැන ගෙලි කරන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

‘සති දෙකකට මගේ කට වහන්න මසකට රුපියල් කෝටි දෙක බැගින් දෙන්න උත්සාහ කළා. මා ඊට එකඟ වුණේ නෑ. මගේ මිතුරකු හරහා තමයි ගනුදෙනුව කතා කළේ. මිතුරා ළඟ අවශ්‍ය හඬ පට තිබෙනවා. ඔහු ඒවා එළියට දාන්න අකමැතියි. නමුත් මට අවැඩක් වෙනවා නම් ඔහු එය එළියට දමනවා. අවශ්‍ය අවස්ථාව ආවහම ඒ ගැන හෙළි කරන්නම්.

ඇවන්ගාර්ඩ් සිද්ධිය ගැන කතා නොකර සිටින්නට තවත් ඇමැතිවරයකුට රුපියල් කෝටි 30ක් දෙන්න උත්සාහ කර තිබුණා.‘

  යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයකු වන නිශ්ශංඛ සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් ආරක්ෂක සමාගමේ සේවා ප්‍රධාන වශයෙන් සමුද්‍රාරක්ෂණය සඳහා යොදා ගැනේ. නයිජීරියාවේ සෙබළුන් පුහුණු කිරීම, මුහුදු කොල්ලකරුවන්ගෙන් ඉන්දියන් සාගරයේ වාණිජ නැව් ආරක්ෂා කිරීම සඳහා  නැව්වල ගමන් කරන සන්නද්ධ භටයන්ගේ අවි, ගාල්ල වරායේ පාවෙන ගබඩාවක කුලියට තැන්පත් කිරීම ඇතුළු සේවා රැසක් ඔහුගේ සමාගම පවත්වාගෙන යන බව කියති.

ඇමැති රාජිත සේනාරත්නගේ චෝදනාවට ප්‍රතිචාර දක්වන ලෙස ඇවන්ඩ්ගාඩ් සමාගමට ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ පණිවුඩයක් යැවූ නමුත් ඊට පිළිතුරක් ලැබුණේ නැත.