‘රසායනික පොහොරවලට හුරු අය මුදා ගැනීම අපහසුයි‘


අවුරුදු 50ක් 60ක් රසායනික පොහොරවලට හුරු පුරුදු වූ රටක් ලෙහෙසියෙන් ඉන් මුදා ගැනීම පහසු නැතැයිද වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමෙන් පමණක් වැඩක් නැතැයිද ඊට හේතු සොයා බැලිය යුතු යැයිද අප අමාරුවෙන් හෝ කාබනික පොහොරවලට හුරු පුරුදු විය යුතු යැයිද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක ජාතික පාසලේ පැවැති ජාත්‍යන්තර වකුගඩු දින උත්සවය අමතමින් පැවසීය.

පොළොන්නරුවේ ගොවියා ඉස්තරම්ම රසායනික පොහොර ඉල්ලන්නේත් තව තැනක ගොවියා සල්ලි එපා පොහොර දියව් යනුවෙන් ඉල්ලන්නේත් රසායනික පොහොර පාවිච්චි කිරීමේ මානසිකත්වය නිසා යැයිද ජනපති කීවේය.

‘අද ලෝකයේ සංවර්ධනයවූ රටවල් වල රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. රසායනික පොහොර භාවිතා කරන ලෙස විදේශ රාජ්‍යයන් වල සිටි විශේෂඥයන් මීට අවුරුදු 50ට 60ට පෙර උපදෙස් දුන්නත් ඔවුන්ම අද කියා සිටින්නේ එයින් බැහැරවන ලෙසයි. සංවර්ධනය වූ රටවල ජනතාව දියර කිරි භාවිතා කරනවා. ලෝකයේ කිරිපිටි භාවිතා කරන රටවල් තිබෙන්නේ 20කට වඩා අඩුවෙන්. එහෙත් වඩාත්ම පිටි කිරි භාවිත කරන රටක් විදියට අපේ රට ලෝකයේ කිරිපිටි සමාගම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. අපි ගමේ කිරි ගොවියාගේ ජීවන තත්ත්වය වර්ධනය කරන්න ඕනෑ. ගමේ පිටිසර ගොවියාගේ සිට දීප ව්‍යාප්තව දියර කිරි භාවිතය වර්ධනය කරන්න ඕනෑ‘ යැයිද ජනපති එහිදී සඳහන් කළේය.