‘රස්සාවක් කරනවට අම්මලා කැමති නැහැ’


 

 

අද තාරුණ්‍යයේ බොහෝ දෙනා ඇය  ගැන කතා කරන්නේ රූපවාහිනි තරුවක ලෙසය. හසිනි ගෝනගල වන ඇය රූපවාහිනි තරුවක වූයේ රංගනය නිසා නොවෙයි. ගායිකාවක නිසාද නොවෙයි. නර්තන ශිල්පිනියක ලෙසයි  රූපවාහිනි ප‍්‍රසාංගික කලාවට සුන්දර රිද්මයක් ගෙනා ඇය ගැන මුලින්ම කතා කළේ සිරස ඩාන්සින් ස්ටාර් සමගයි. අද ඇය ගැන කතා කරන්නේ දෙරණ ඩාන්සින් ස්ටාර් දී අල්ටිමේට් ලෙවල් නිසයි. එලෙසින් රූපවාහිනි නර්තනයට අපූරු හැඩයක් ගෙනා හසිනිට දැන් සිනමාවේ රඟපෑමට වරම් ලැබී තිබෙනවා. නැටුමට දඟකාර වූ මේ හැඩකාරිය සමඟ අද අපි ඒ  විස්තර කතා කරමු.

 

 
 


 හසිනි ඇයි ඔබ නැටුමට වැඩිපුර තැන දෙන්නෙ?
කුඩා කාලයේ ඉඳලාම නැටුමට හරි කැමතියි. ඒ නිසයි එම අංශයෙන් ඉදිරියට යන්නෙ.

 


 රැකියාක් කරනවද?
රැකියාවක් කරනවට දෙමාපියන් කැමති වුණේ නැහැ. මගේම ව්‍යාපාරයක් අරඹන්න  උදව් කළා. සිටි ඇන්ඞ් ගිල්ස් පාඨමාලාව හමාර කරලා මගේම කොණ්ඩා විලාසිතා හා රූපලාවන්‍ය කටයුතු සිදුකෙරෙන ව්‍යාපාරයක් දැන් පවත්වාගෙන  යනවා.

 


 කොහොමද ඔබේ නර්තනයට ලැබෙන ප‍්‍රතිචාර?
මෙතෙක් කාලයක් මේ වගේ නර්තන ශිල්පීන් බොහෝ විට දැක ගත්තේ බොලිවුඞ් තරු වෙතින්. ඒත් දැන් අපට අපේම දක්‍ෂ තරුණ පරපුරක් සිටින්නේ කියලා හැමෝම කියන දෙයක්. මේ ප‍්‍රතිචාර නිසා ප‍්‍රාසාංගික නැටුමට ජාත්‍යන්තරව යමක් කිරීම මගේ අරමුණයි.

 


ලංකාවේ සම්ප‍්‍රදාය මත නර්තනය රකින ප‍්‍රවීණ පරපුර මේ නර්තන තරු තරග අගය කරනවාද?
 චන්න විජේවර්ධන සර් වගේ ප‍්‍රවීනයකු නිතරම අපට උපදෙස් දෙන්නෙ අපේ දේ රැකගෙන ජාත්‍යන්තරයට අලූත් යමක් නිර්මාණය කරන්න කියන එකයි. මම මුලින්ම නර්තනය හැදෑරුවෙ කුලසිරි බුදවත්ත සර් යටතේ. පසුව චන්න සර්ගෙන් ඉගෙන ගෙන බැලේ, හිප්පොප්, ලැටින්, ඉන්දියන් නර්තන අංශයත් ප‍්‍රගුණ කළා.

 


රූපවාහිනි නර්තන කලාවට ඔබ ආවේ දුෂ්සන්ත් වීරමන් එක්කයි. දැන් ඔහු සමග නර්තනය කෙරෙන්නෙ නැත්තෙ ඇයි?
”දුෂ්” නැටුමට වඩා එයාගෙ ගායන අංශයට මුල් තැනදීලා තියෙන්නේ. මම නර්තනයට වැඩිපුර තැන දීලා. මේ ඒ නිසා අප දෙන්නා නිතරම එකට දකින්න ලැබෙන්න නැහැ. ඒත් ”දුෂ්” මොනවා හරි කරනවා නම් මට කියනවා. ළඟකදී ඒ වගේ නිර්මාණයක් කළේ නැහැ.

 


 ඔබ නර්තනය කරන්නේ මොනවගේ අරමුණක් ඇතිවද?
තවම මගේ  වයස අවුරුදු 21යි. ප‍්‍රවීණත්වය  කරා යන්න තව බොහෝ දේ ප‍්‍රගුණ කරන්න තියෙනවා. ඉන්පසුව නර්තන පාසලක් ආරම්භ කිරීම මගේ අවසාන අරමුණයි.

 


 ඇයි ටෙලි නාට්‍ය රංගනයට එක් නොවුණේ?
ඒ වෙනුවෙන් විශාල කාලයක් වැය  කරන්න  ඕනෑ. ඒ නිසා එම අංශයෙන් ආරාධනා ලැබුණත් බාරගත්තේ නැහැ. චිත‍්‍රපට රංගනයට නම් කැමතියි.

 


ඒ නිසාද චිත‍්‍රපට රංගනයට පිවිසුණේ?
ඔව් සනත් ගුණතිලක මහතාගේ නව චිත‍්‍රපටයක චරිතයක් රඟපෑවා. ඒ වගේම සුනිල් ටී. චිත‍්‍රපට සමාගමේ නවතම චිත‍්‍රපටය වන ”මහරජ අජාසන්ත” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟපානවා.

 


හසිනිගේ බෝතල් මුඩි ගවුම

හසිනි ගෝනගල හැඩවී සිටින මෙම ගවුම සාමාන්‍ය ලෙස නිමවුවක් නම් නොවෙයි. රැෆල්ස් ජාත්‍යන්තර පාසලේ විලාසිතාකරණය ගැන හදාරමින් සිටින රන්නිලූ සිංගප්පුලිගේ ශිල්පිනිය විසින් නිමකරන ලද අපූරු නිර්මාණයකි. එය නිර්මාණය කළ විදිය ගැන රන්නිලූ විස්තර කළේ මෙලෙසිනි.

”ඉවතලන ද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණයක් කිරීමට අපට ලැබුණාම ඒ සඳහා මාතෘකා වගේම යොදාගන්නා අමුද්‍රව්‍ය ගැනත් රැෆල්ස් ජාත්‍යන්තර පාසලෙන් කියා තිබුණා. බෝතල් මූඩි යොදා ගැනීම ගැන කියලා තිබුණේ නැහැ. නමුත් මා එය යෝජනා කළාම බලධාරීන් ඊට ඉඩ ලබාදුන්නා. ඒ අනුව ගවුම නිමකළේ ඉවතලන බෝතල්  මුඩි 6000ක් විතර යොදා ගෙනයි ඒ සඳහා විවිධ වර්ණයෙන් යුතු ඒවා යොදා ගත්තා. ඒවා තලලා සෑම එකක්ම සමාන සිදුරු හතරකින් නිම කරන්න සිදුවුණා. මාලය සඳහා මුඩි පහළොවක් විතර යොදා ගත්තා. කරාබු දෙක නිම කළොත් බෝතල් මූඩි වලින්මයි අත් බෑගය සඳහා මූඩි සිය ගණනක් යොදා ගත්තා. ප‍්‍රතිචකී‍්‍රයකරණය සඳහා යොදා ගන්නා තවත් එක් අමුද්‍රව්‍යයක්  ලෙස බෝතල් මූඩි යොදා කළ මෙම නිර්මාණයට පළවැනි තැන හිමිවුණා.

දැන් මගේ අරමුණ මෙවැනි අලූත් නිර්මාණ සමග ජාත්‍යන්තරයට අපෙන් යමක් ලබාදීමයි. ඒ උත්සාහයේ එක් ප‍්‍රයත්නයක් ලෙස මෙය නම් කරන්න පුළුවනි. මේ සඳහා නූල්වලට හැර කිසිවකට මුදල් වියදම් වුණේ නැහැ.