‘රත්නපුර කතගෙන් තවම පැමිණිල්ලක් නෑ‘


රත්නපුර බස් නැවතුම්පොළ අසල දී වීදි කතකට පහර දුන් බව කියන පොලිස් සැරයන් සම්බන්ධ පරීක්ෂණය සහකාරී පොලිස් අධිකාරීවරයකුට පවරා ඇතැයි ද, දැනට 15 දෙනකුගේ කට උත්තර ලියාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

එම කාන්තාව මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් කර නැති බවත් ඔහු කියයි.

එම කාන්තාව හා තවත් වීදි කතක අසභ්‍ය වචනයෙන් බැන ගනිද්දී පොලිස් සැරයන් එක් කතකට වේවැලකින් පහර දී ඇති බව පෙනේයැයි ද ඔහු කීවේය.

කිසිවකුගේ බලපෑමක් නොමැතිව විනිවිද භාවයෙන් පරීක්ෂණ පවත්වන බව ද අජිත් රෝහණ මහතා කීවේය.

පොලිසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස හෝ ප්‍රකාශයක් ගැනීම සඳහා ඇය සිටින තැනක් දන්වන ලෙස හෝ ඇගෙන් ආයාචනය කරන බව මාධ්‍ය ප්‍රකාශක පැවසීය.