‘රණවිරු ලේබලයෙන් මිනී මරන්න බැහැ‘


රණවිරු ලේබලය ගසාගෙන නීති විරෝධී වැඩ කිරීමට, මිනී මැරීමට කිසිවකු බලපත්‍ර ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ අපරාධ සම්බන්ධ විමර්ශන පැවැත්වෙද්දී විවිධ කණ්ඩායම් ඇවිස්සී ඇතැයි ද, අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නන් රණවිරුවන් ලෙස ඔවුන් නම් කරන්නේ යැයි ද ස්ටාලින් මහතා පැවසීය.

‘‘එක්නැලිගොඩ ඝාතන විමර්ශනවලදිත් රණවිරුවන් අත්අඩංගුවට ගත් බව පිරිසක් කියනවා. යුද්ධ කළා කියා මිනී මරන්න කාටවත් ලයිසන් දීලා නෑ. රතුපස්වල වෙඩි තැබීමට වග කිව යුතු බව කියන බ්‍රිගේඩියර් ලංකාවට ඇවිත් ඉන්නවා. ඔහුට එරෙහිව මෙතෙක් පියවරක් ගෙන නෑ.

මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව තබෙනවා වෙඩි තැබූ හා අනදුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියා. අද වනතුරු කිසිදු පියවරන් ගෙන නැහැ. මේ ආණ්ඩුවත් ඔවුන් ආරක්ෂා කරන්නේ ඇයි කියා අපට ප්‍රශ්නයක් තිබෙනවා.

අපි ආණ්ඩුවට බල කරනවා ජනතාවගේ හඬට ඇහුම්කන් දී පරීක්ෂණ සාධාරණව සිදු කරන ලෙස.‘‘

සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද මාධ්‍ය සාකච්ඡාව ඇමතූහ.