‘රටට නොගැළපෙන වගන්ති ඉවත් කරන්න ජනපති උපදෙස් දුන්නා‘


ජී.එස්.පී ප්ලස් සහනය වෙනුවෙන් යුරෝපා සංගමය ක‍්‍රියාකාරී සැලැස්මක් දී ඇති බවත් එහි ඇති සමලිංගිකත්වය ආදී රටට නොගැළපෙන කරුණු සහිත වගන්ති ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනටමත් උපදෙස් දී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 
එම සැලැස්ම  අධ්‍යයනය කිරීමට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි කී ඔහු එය අධ්‍යයනය කර වගන්ති කිහිපයක් ඉවත් කිරීමටත් එහි ඇතුළත් දේ අතුරින් රටක් ලෙස කළ හැකි දේ හා නොහැකි දේ යුරෝපා කොමිසමට දැනුම්දීමටත් කටයුතු කරන බවත් කීවේය. 
ජී.එස්.පී ප්ලස් සහනය ලබාගත්තේ මානව හිමිකම් ආදිය සම්බන්ධයෙන් රටට එල්ල වී තිබූ චෝදනාවලින් මිදීමට කටයුතු කර මිස වෙනත් කොන්දේසිවලට යටත් වී නොවන බව ද කී රාජ්‍ය ඇමැතිවරයා ජී.එස්.පී ප්ලස් සහනය වෙනුවෙන් රටේ තිබෙන ප‍්‍රශ්න තවත් වැඩිවන,  රටටත් සංස්කෘතියටත් අහිතකර කිසිම දෙයකට රජය එකඟ නොවන බවත් කීවේය.