‘රජය සංහිඳියාවක් ඇති කරනාවා යැයි පැවසිම බොරුවක්. එහි ඇත්තේ සිංහලත්වය විනාශ කිරීමක්‘ යැයි බෙංගමුවේ නාලක හිමියෝ මහනුවරදී පැවසූහ.
මහනුවර කැප්පැටිපොළ ශාලාවේදි ජාතික හිමිකම් සංවිධානයේ මධ්‍යම පළාත් නියෝජිත සම්මේලනය අමතමින් ඒ හිමියෝ එසේ කීහ.
මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල් අප රටට කරන්නාවු කෙනෙහිලිකම් නවත්වා දැමිම සදහා ජාතික හිමිකම් සංවිධානය ඇරඹුණු බවත් ඒ සදහා ජාති බේදයකින් තොරව මෙරට සිංහල,දෙමළ.මුස්ලිම් ජනයා ඒකරාශි වන බවත් පැවසූ නාලක හිමියෝ මානව හිමිකම් යැයි කියා ගන්නා සංවිධාන මෙරටට ඇතුළු වන්නේ මෙරටේ ඇති අසමගිය නිසා බවත් යැයි කීහ.
‘‘සිංහල දෙමළ මුස්ලිම් අසමගියක් මේ රටේ නෑ. ඒක මවා පානවා සුමන්දිරම්ලා, සම්බන්දන්ලා. විග්නේශ්වරන්ලා. ඡන්ද ටික අරගෙන බලයේ සිටීම සඳහා කරන වැඩ පිළිවෙළක් පමණයි එතන තියෙන්නෙ. වැට් බද්දට විරුද්ධව රටේ හැම ප්‍රදේශයකම මිනිස්සු නැගි හිටියා. මිනිස්සුන්ට මේක තේරුනා මේක මහා පීඩාවක් කියලා. අපි ජනතාවගේ දානෙන් ජීවත්වන හිමිවරු නිසා විහාරයට දානයක් ගේන විට ඔවුන් අමාරුවෙන් ඒ දේ කරන බව ජනතාවත් සමග ජීවත් වන අපට වැටහෙනවා. ඒ දුක දේශපාලකයන්ටත් මහානායක හාමුදුරුවන්ටත් තේරෙන්නෙත් නෑ. එයාල ඉන්නෙ දේශපාලකයන්ගේ ලොකු ලොක්කන්ගේ අටපිරිකරයි පුජා භාණ්ඩයි අරගෙන ඒ අයට ආශිර්වාද කරන්න විතරයි. එයාලට ජනතාවගේ දුක තේරෙන්නෙත් නෑ. අපි වගේ සාමාන්‍ය භික්ෂුන්ට පමණක් ජනතාවගේ දුක තේරෙනවා. ‘‘ යැයි ද නාලක හිමියෝ කීහ.