‘රජය මැතිවරණවලින් පලා යනවා‘ - මහින්ද රාජපක්ෂ


වත්මන් රජය මුළු ලෝකයේම හිත් දිනාගෙන ඇති බව කීවත් විදේශ ආයෝජන කිසිවක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වී නැතැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රජය තමන්ගේ වරදින් ඇති වී තිබෙන ආර්ථීක අර්බුදයන් ඇතුළු සියලූ දේවලට තමන් වගකිව යුතු බව කීවත්, ඒ සියල්ල සිදුවී ඇත්තේ ඔවුන්ගේම වරදින් බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පාලන සමයේදී රටේ ආර්ථීක දර්ශකයන් ඉහළ මට්ටමක තිබූ බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේදී අද (15) පැවති දේශනයකදීය.

‘මැතිවරණයකින් ජනමතය උරගා බැලිය යුතුය‘ යන තේමාව යටතේ මෙම දේශනය පැවැත්විණි.

තමන්ගේ කාලයේ ජනබලය උරගා බැලූවේ මැතිවරණ පවත්වා වුවත් වත්මන් රජය මැතිවරණවලින් පලා යමින් රැස්වීම්වලට විවිධ බලපෑම් කර ජනතාව ගෙන්වා බලය පෙන්වීමට යන බව ද රාජපක්ෂ මහතා පැවසීය.

එය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය සමග තරග කිරීමට බව කී මහින්ද රාජපක්ෂ මහතා ජනබලය පෙන්වීමේ අරමුණින් ආණAඩුවක් විපක්ෂයක් සමග මේ අයුරින් තරග කරනු මීට පෙර තම ජීවිත කාලයේදී දැක නැතැයිද සඳහන් කළේය.

මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය ලබාගැනීම බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

IMG_9662