‘රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යනවා‘


රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යන්නේ නම්, හරි විපක්ෂයකුත් නැත්නම් බාහිර බලවේගවලට එවැනි රජයක් පරාජය කළ හැකි යැයි ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත සහ ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසීය.

මෙවර පළාත් සභා ඡන්දයේදී විශාල පිරිසක් ඡන්දය භාවිත නොකිරීම හා ජිනීවා යෝජනාව අතර සම්බන්ධයක් ඇද්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය.

‘සාමාන්‍යෙයන් මහා ඡන්දෙකට වඩා ඕනෑම රටකට අනෙක් ඡන්දවල දී ඡන්දය දෙන පිරිස අඩු වෙනවා. නමුත් මෙවර වෙන කාරණයක් තියෙනවා. සමහරුන් කියනවා 18 වැනි සංශෝධනය නිසා, ආණ්ඩුවේ විවිධ දේ නිසා, ඡන්ද දිනන්න බෑ කියා. ඔය ඔක්කොම තියෙද්දි   සන්නද්ධ හමුදාවෙන් විශාල පිරිසක් සිටිය දී උතුර දෙමළ සන්ධානය ජයග්‍රහණය කළා. හරි විපක්ෂයක් තිබේනම් මිනිසුන් ඡන්දේ දෙන්න එනවා. ඇවිත් ආණ්ඩු පරද්දනවා.‘

‘එහෙම නැතිකොට ඡන්දය දෙන්න හිතෙන්නේ නෑ. පවතින ආණ්ඩුව කියන දේ ගැන තියන විශ්වාසනීයත්වය දැන් බැහැගෙන යනවා. මිනිස්සුන්ට දැන් ප්‍රධාන විපක්ෂය ගැනත් විශ්වාසයක් නෑ. ඉතින් වෙනසක් නූනොත් ජනතාව වඩ වඩාත් දේශපාලන ක්‍රියාවලියෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම ඒවගේ රටන් ලේසියෙන් පරද්දන්න පුළුවන් වෙනත් බලවේගයන්ට. ‘

‘ජනතාව කුල්මත් කරන්න නම් ආණ්ඩුව විශ්වාසනීයත්වයට කටයුතු කරන්න ඕනෑ. එහෙම නැත්නම් සැබෑ, ආකර්ශනීය, ජනහිතකාමී විකල්පයක් විපක්ෂයෙන් මතුවෙන්න ඕනෑ. එහෙම නැති තැන අපි කොහොමද උගත් බුද්ධිමත් ඊලාම්වාදී පිරිස් සමග අපි ගෝලීය වශයෙන් තරග කරන්නේ. ඒක තමයි අපි අහගන්න ඕනෑ ප්‍රශ්නය.‘