‘මෛත්‍රීට පක්ෂ නායකකම දුන්නේ චමල් ඉදිරිපිටදී‘


‘මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා වුණේ නීත්‍යානුකූලවයි. ජනාධිපතිවරණයෙන් පසු දවසක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා කතානායක නිල නිවසට තනිවම වාහනයකින් ආවා.  මහින්ද රාජපක්ෂා මහතාත් හිටියා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනකුත් හිටියා. මෛත්‍රී, මහින්ද, කතානායක චමල් නිල නිවසේ උඩ තට්ටුවට ගිහින් සාකච්ඡා කර ඉන් පසු තමයි මහින්ද පක්ෂ නායකත්වය මෛත්‍රීට බාර දුන්නේ.‘ යැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ඇමැතිවරයා එලෙස කීවේ අද සවස ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති බදුල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලය අමතමිනි.

‘ මහින්ද මෛත්‍රීට පක්ෂ නායකත්වය බාර දෙද්දී කතානායක චමල් එතන හිටියා. අපි දන්න තරමින් කවුරුවත් තර්ජනය කර  නායකත්වය ගත්තේ නැහැ. උඩ තට්ටුවේ ඉඳන් පහළ තට්ටුවට දෙන්නාම ආවේ සිනා වෙමින්. මහින්ද අපි ඉන්න තැනම මෛත්‍රීට පක්ෂය බාරගන්න කීවා. නිලධාරී මණ්ඩලයත් පත් කරගන්න කීවා. ඒ  නිසා තමයි මෛත්‍රී සමඟ අපි පක්ෂය එක්ක එකට ගියේ. මහින්දට අගමැති කම දෙන්න කියා මමත් අත්සන් කළා. එතුමාට දිනාගන්න බැරිවුණා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතර හමාරක් යද්දි මැතිවරණ නැහැ. අපට මේ වසර පහේදී අයාලයේ යන්න බැහැ. මෛත්‍රීපාල ජනපති අපිට කතා කළා. අපි ගියා. ඊට පස්සේ කටු කන්න ගියා කියනවා. අප ඉන්නේ පුද්ගලයන් සමඟ නෙමෙයි. පක්ෂය සමඟයි.

 අපි එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැහැ. නායකයා කවුරු උනත් අපි ඉන්නේ අත ලකුණ, පක්ෂය සමඟයි. දේශපාලන නායකත්වය කවුරු වුණත් අපි එතැන ඉන්නවා. අපි ගියේ මධ්‍යම කාරක සභාව විධායකය ගන්න තීන්දුවකට අනුවයි. නිවැරැදි දර්ශනයක අපි යනවා. අපි දැන් යන්නේ සභාග ආණ්ඩුවක. සංවර්ධනයේදී එක්ව ගමන් කරනවා. මැතිවරණයකදී වෙන්ව ගමන් කරනවා. හරියට ගංඟාවක් එකට ගිහින් වෙන් වී ගමන් කරනවා වගෙයි. අපි එකිනෙකා මිනී මරාගන්නා දේශපාලනය නවත්වමු‘‘