‘මෛත්‍රීගෙ ප්‍රතිපත්තිය කැඳහැලියක්‘ - අනුර ප්‍රියදර්ශන යාපා


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අච්චාරුවක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී කීවේය.

‘මෛත්‍රීපාල සිරිසේන අපේ පක්ෂයේ මහ ලේකම් නොවෙයි. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලයි තිබෙන්නේ. ඔහු වෙනුවට මා පක්ෂයේ ප්‍රධාන ලේකම් කළා.

ඔහුගේ මැතිවරණ ප්‍රකාශය පුරාම තිබෙන්නේ ඉටු කළ නොහැකි දේ. මේ පොරොන්දු ප්‍රකාශය ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගෙයි.

චන්ද්‍රිකා සහ රනිල් යුගයේ රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලීකරණය කළා. අපි ඉන් තුනක් රජයට පවරාගෙන දැන් ලාභ ලබනවා.

මේ පිරිස කියනවා පෙට්‍රල් ඩීසල් බදු අඩු කරනවා කියා. ලෝකයේ හැම රටකටම වගේ තෙල්වලට බදු අය කරනවා. ඒවා තමයි රජයට තිබෙන ආදායම්. මොවුන් බදු  අඩු කරනවා නම් රජයට ආදායම් ගන්නේ කොහොමද?

දුම්වැටි පැකට්ටුවේ සියයට අසූවවක් රූපමය අවවාද සම්බන්ධ නඩුවේදි උසාවියේ බංකුව උඩ කඳුළු සලමින් හිටියලු. ඇමැතිවරු උසාවිවල බංකු උඩ වාඩිවෙලා ඉන්නවද? මං නම් දැකලා නෑ. ඒක ගැන කඳුළු සලන්න ඕනද? එය අපේ පුද්ගලකි දෙයක් නොවෙයිනේ. මෙච්චර කල් කළේ ලියවිලි වලට අත්සන් කරලා ඉන්නවා නීතීඥවරු උසාවි ගිහින් නඩුව කතා කරනවා. ඇමැතිවරු මොකටද යන්නේ. ‘

මාධ්‍යවේදියෙක් - රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කියා තිබුණු පරිගණක ජිල්මාට් දැමූ බව?

ඇමැතිවරයා -  කම්පියුටර් ජිල්මාට් ගැන අපි දන්නේ නෑ. මැතිවරණයෙදි ජිල්මාට් දාන්න බැහැ.

මාධ්‍යවේදියෙක් - නියෝජ්‍ය ඇමැති ඒ බව කියා තිබුණා.?

ඇමැතිවරයා - එහෙම කියා තිබුණා නම් වැරදි.

මාධ්‍යවේදියෙක් - ඔබ කිව්වා පෞද්ගලීකරණය කළ සමාගම් තුනක් රජයට පවරාගෙන දැන් ලාබ ලබන බව. ගුවන් සේවා සමාගම අධික පාඩු ලබනවනේ?

ඇමැතිවරයා - ගුවන්සේවා සමාගමට දිගටම ආයෝජන කරනවා. ඉදිරියේ ලාභ ලබන තත්ත්වයට පත් කරනවා.

_DSC0008