‘මෛත්‍රී දිනුවේ හාස්කමකින් නොවේ : මහින්දගේ පාලනය දූෂිතවූ නිසයි‘


මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පොදු විපක්ෂයේ ජයග්‍රහණය කිසිවකුගේ ප්‍රාතිහාර්යකින් සිදු වූ දෙයක් නොවන බව පදනම් ආයතනයේ පැවති දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ සමුළුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේය.

‘‘අපි දන්නවා අද නොයෙක් දෙනා  මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ලක්ෂ 58 ගැන කතා කරනවා.  මුදල් විශාල වශයෙන් වියදම් කරපු යෝධ මැතිවරණ ව්‍යාපාරයක් හේතුවෙන් තමයි ඒ ඡන්ද ලබා ගත්තේ. සියලුම මාධ්‍ය නීති කඩ කරමින් ප්‍රචාරණ කටයුතු සිදුකළා. එහෙම ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය පරාජය වුණේ කොහොමද කියල තවමත් සමහර අයට හිතා ගන්නවත් බැහැ. සමහරු කියනවා දෙමළ ජනතාවගේ ඡන්ද වලින් දිනුවලු, මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් දිනුවලු. යූ.එන්.පී. එකෙන් දිනුවලු, ජේ.වී.පී. එකෙන් දිනුවලු. ඒ හැමෝගෙම සහයෝගය ලැබුණා. ඒක ඇත්ත. නමුත් මහින්ද මහත්තයට තිබුණු ලක්ෂ 57ක ජනවරම පරාජයට පත් වුණේ, මේ දූෂණය වංචාව පිළිබඳව ජනතාව තුළ ඇති වූ සමාජ මතය. විශේෂයෙන්ම වෘත්තියවේදීන්ගේ ඒ සමාජ මතය නිසා‘‘

සමුළුවට සමාජ සේවා හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.

web-web