‘මෛත්‍රී 19 ගැන ප්‍රකාශයක් කළ යුතුයි‘ - ජවිපෙ


‘18 වැනි සංශෝධනයට පූස් පැටව් වගේ අත උස්සපු, කැසිනෝ පනත සම්මත කරන විට පූස් පැටව් වගේ හිටපු බහුතර මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් තමයි අද ඇත්තේ. ඒ අයගෙන් තමයි 19 සම්මත කර ගන්න වෙන්නේ. එය සම්මතර කර ගැනීම සඳහා විවිධ දේවල් කරන්න සිද්ධ වුණා. හිටපු ඇමැතිවරුන්ට වාහන දෙකයි, රියැදුරුයි ඉන්ධන දීමනායි දෙන්න වුණා. එතැනින් නතර නොවී ජනවරමින් ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර දෙන්න වුණා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘අනුර යාපාගේ හා නිමල් සිරිපාලගේ මතය අපට වැදගත් නැහැ. අපට වැදගත් වන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අදහසයි. ඔහු ඒ සම්බන්ධයෙන් රටට ප්‍රකාශයක් කළ යුතුයි. චන්ද්‍රිකාත් මහින්දත් එකඟතාවය කඩා ඉතිහාසයේ කුණු කූඩයට ගිය නායකයන් වුණා. මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් කුණු කූඩය හිමි කර ගත යුතු නැහැ. 19 සම්මත කරීමට ඔහුගේ දායකත්වයක් ඕනෑ. 

සමහරුන්ට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මන්ත්‍රීකම් දෙකයි. කිසිදු ජන පදනමක් නැහැ. එවැනි කිසිදු බලයක් නැති කෙනෙක් 19 පරාජය කරනවා කියා කියන්නේ කොහොමද? 18ට පූස් පැටව් වගේ දෑත් ඔසවලු අය 19ටඑරෙහිව මහ හඩක් නගන්නේ කොහොමද? ‘