උතුරු නැගෙනහිර පළාත් ඒකාද්ධ පාලන කලාපයක් ලෙස පැවතීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දක්වන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් එම පළාත් දෙක ඒකාබද්ධ විය යුත්තේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ එකඟතාවකින් යුතුව බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් පැවසීය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වේලායුදන් දයානිදි හෙවත් දයා මාස්ටර් ට එරෙහිව වව්නියාව මහාධිකරණයේ විභාග වන නඩුවේ දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ අදහස් පළ කළේය.
2010 වසරේ සිට දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන්හි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවතිය යුතු යැයි ඍජුවම සදහන් කර තිබෙන බවත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් හෙතෙම කීවේය.
මේ දෙපළාත ඒකාබද්ධව පැවතීම සම්බන්ධයෙන් මුලින්ම කතාබහට ලක්වූයේ 1957 බන්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් බවද කීය.
මෙම පළාත් ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ බහුතර කැමැත්ත ඕනෑ බවත් මුස්ලිම් ජනතාවටද සම අයිතිය හිමි විය යුතු බවත් කී සුමන්තිරන් මහතා 25 වසරක් පුරා උතුරු නැගෙනහිර පළාත්හි අමානුෂික සිදුවීම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සැකයෙන් බලා සිටින බවද කීය
දෙමළ භාෂාව කතාකරන ජාතියක් වශයෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව සමග එක්ව ජීවත් වීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද මන්තී‍්‍රවරයා සදහන් කළේය.