(නිමල කොඩිතුවක්කු)
මිල සූත‍්‍රය ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද(28) කොළඹදී පැවැසීය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉන්ධන මිල සුත‍්‍රය අනාවරණය කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍යාංශයට අභියාචණයක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා
‘‘ඉන්ධන සම්බන්ධයෙන් ලෝක වෙළඳපොලේ මිල වැඩි වීමයි ලංකාවේ සිල්ලර වෙළද පොලේ මිල වැඩිවීමයි අතර කිසිම තාර්කික සම්බන්ධයක් අපට නම් සොයා ගන්නට බැහැ. පෙට‍්‍රල් සහ ඞීසල් වලට මෙතරම් දැවැන්ත මිලක් ගෙවිය යුත්තේ ඇයි කියන එක දැන ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශයෙන් මේ අරුම පුදුම අභිරහස් ඉන්ධන මිල සූත‍්‍රය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත යොමුකර තිබුණා. පනතේ 5(1) ඇ ( iv)උප වගන්තිය යටතේ මෙම තොරතුරු ලබා දුනහොත් ජාතික ආර්ථිකයට බලවත් අගතියක් සිදු විය හැකි නිසා එය ලබාදිය නොහැකි බව තොරතුරු නිලධාරියා අපට දැනුම් දුන්නා.
එමෙන්ම ඔහු රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්ති රාජා මහතා ව අභියාචනා සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා ලෙස පත් කර තියෙනවා. ඒ අනුව අපි විමලේන්ති රාජා මහතාව හමු වෙලා එතුමන්ට මේ ගැන පැහැදිලි කළා.
පනතේ මේ උපුටා දක්වා ඇති වගන්තියෙන් ආර්ථික හෝ මූල්‍ය ප‍්‍රතිපත්තියක් කලින් හෙළි කිරීම ආර්ථිකයට බරපතළ අගතියක් විය හැකි නම් එය හෙළි නොකර සිටීමට ආණ්ඩුවට ඇති අයිතිය තිබෙනවා. නමුත් අප ඉල්ලා සිටින්නේ ප‍්‍රතිපත්තියක් නොවෙයි. අනික් පැත්තෙන් රටේ ජනතාවට ඉන්ධන මිල සූත‍්‍රය අනාවරණය කිරීමෙන් රටේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු වෙන්නට හැකියාවක් නැහැ.
ඒ නිසා අපට මේ මිල සූත‍්‍රය දැන ගැනීමට අයිතියක් තිබෙනවා.මිල සූත‍්‍රය සඟවාගෙන සිටීම නීති විරෝධී කටයුත්තක් බවත් අපි විමලේන්ති රාජා මහතාට දැනුම් දුන්නා.
(ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි)