‘මිල ඉහළ ගියේ වී තැරැව්කරුවන් අතට ගිය නිසයි ‘


දිනෙන් දින ඉහළ යන සහල් මිල පහළ දැමිම සදහා රජය සතු වී තොග මහා පරිමාණ මෝල් හිමියන්ටත් කුඩා මෝල් හිමියන්ටත්  පසුගියදා ලබාදුන්න ද  සහල් මිලෙහි කිසිදු වෙනසක් නොවීමට හේතුව එම සහල් තැරැව්කරුවන් අතට යාම නිසා බව පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති මුදිත් පෙරේරා මහතා කියයි. 
මේ පිළිබඳව කළ විමසීමකදී පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති මුදිත් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ  පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතු වි තොග නිකුත් කිරිමේ දි තම සංගමයේ මෝල් හිමියන් 52 කගේ නාම ලේඛනයක් ලබා දුන්නත් ඒ කිසිවකුට වී තොග නොලැබුණු බවයි. 
ග‍්‍රාමිය ආර්ථික සංවර්ධන ඇමැති පී.හැරිසන් මහතා නිර්දේශ කළ මෝල් හිමියන් 22 දෙනකුට  ලබා දුන්නද ඔවුන්  මෝල් හිමියන් නොව  ඇමැතිවරයාගේත්, වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ පොළොන්නරු කලාප කළමනාකරුගේ තැරැව්කරුවන්  බවයි. 
මේ සම්බන්ධයෙන් විමසීමට වි අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා  දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට උත්සාහ කළත් එය අසාර්ථක වූ අතර වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව කලාප කළමනාකරු ඒ. ජි. නිමල් ඒකනායක මහතා කියා සිටියේ නාම ලේඛනයට පිටින් කිසිදු මෝල් හිමියෙකුට වි නිකුත් කර නැති බවයි.