‘මැති ඇමැතින්ට පහසුකම් අවශ්‍යයි‘


මැති ඇමතිවරුන්ට ජනතාවට සේවය කිරීම සඳහා පහසුකම් අවශ්‍ය බවත් ඔවුන්ට එවැනි පහසුකම් ලබාදෙන විට විපක්‍ෂයේ අය බොරු විවේචන කරමින් ජනතා ප‍්‍රසාදය ලබාගැනීමට උත්සාහ කරන බවත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පැවසීය.

අද විපක්‍ෂයේ සිටින අය ආණ්ඩු පක්‍ෂයේ සිටිය දී හිරිකිතකින් තොරව එම වරප‍්‍රසාද භුක්ති විඳි බව කී ප‍්‍රධාන අමාත්‍යවරයා අපේ රටේ දේශපාලකයින්ගෙන් බහුතරයකට බලය තිබෙන විට මොළයත්, මොළය තිබෙන විට බලයත් නැති බවද සඳහන් කළේය.

පසුගියදා බියගම ප‍්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේදී ඇතිවූ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කළ සංවර්ධන කටයුතු පක්‍ෂයේ අයටම විවෘත කරන්න ලැබීම ගැන ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින නගර හා ප‍්‍රාදේශීය සභා මල්ලිලාත් අයියලාත් සතුටු විය යුතු බවත් ඒවා විවෘත කිරීමට තමාට සහ ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට අයිතියක් ඇති බවත්ය. 

ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මේ බව පැවසුවේ කොළඹ 07, ශ‍්‍රාවස්තියේ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.