මාලදිවයින් අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයා සම්බන්ධව එරට රජය මෙතෙක් කිසිදු චෝදනාවක් නඟා නැතැයි තානාපති ආරංචි කියයි.
මාලදිවයින ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් මාසයකට පෙර අත්අඩංගුවට ගත් විසි හතර හැවිරිදි මෙම ලාංකික තරුණයාට එරෙහිව මාලදිවයිනේ අධිකරණය හමුවට ඉදිරිපත් කර නැති අතර එහෙත් ඔහු රැඳවුම් භාරයේ තබා ගැනීම ඉකුත් 23 වැනිදා සිට තවත් දින 15 ක් දක්වා දීර්ඝ කැර ඇත.
මේ අතර මෙලෙස නඩු විභාගයකින් තොරව රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නීතීඥවරයකුද මේවන විට මාලදිවයිනට ගොස් ඇති අතර , ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද එම නීතීඥවරයාට දැනගන්නට ලැබී ඇත.
මාලදිවයින් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයකට සම්බන්ධ බව කියමින් එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී මෙම ලාංකික තරුණයා මෙරට යුද හමුදා සේවයේ නිරතවී සිටි අයෙකු බවට එම බලධාරීන් සඳහන් කර සිටියද ලාංකිකයා ප‍්‍රකාශ කර ඇත්තේ තමා හමුදා සේවයට සම්බන්ධ නොවූවෙකු බවත් රැකියාවක් සොයා මාලදිවයිනට පැමිණි බවත්ය.

