‘මාධ්‍යවේදීන්ට වන අඩම්තේට්ටම් හෙළා දකිනවා‘


ජනමාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් හෝ බලපෑමක් එල්ල වනවා නම් එය හෙළා දකින බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

ඔහු මේ බව කීවේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යවේදියකුට බැණ වැදුණැයි කියන සිද්ධිය හා වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුට බලපෑම් කළැයි කියන සිද්ධිය ගැන ජනමාධ්‍යවේදීන් දිගින් ගිටම ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

මේ සිදුවීම් හෙළා දකින බව නොකියන්නේ ඇයිදැයි ප්‍රශ්න කරද්දී ඇමැතිවරයා එලෙස කීවේය.

ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ ජන රැලියක් නිසා මාර්ග අවහිර වෙද්දි කිසි දෙයක් නොකළ පොලිසිය එදිනම විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමකට කඳුළු ගෑස් ගහනවා?

පිළිතුර - උද්ඝෝෂණ කරද්දි එහෙම තමයි.

ප්‍රශ්නය - එජාප ජන රැලිය නිසා පාරවහල් අවහිර වෙද්දි බලාගෙන  ඉඳා විශ්ව විද්‍යාල ළමයින්ට කඳුළු ගෑස් ගැහුව එක හරිද?

පිළිතුර - උද්ඝෝෂණ තියෙද්දි පාරවල් අවහිර වෙනවා.

ප්‍රශ්නය - එකම දිනයේ එජාප රැලියට එක විදියකටත්, සිසුන්ගේ පාගමනට එක විදියකටත් සලකන්නේ කොහොමද?

පිළිතුර - එය පොලිසියන් අහන්න. මං පොලිසියේ නෙමේනේ.

ප්‍රශ්නය - වරාය සභාපති මාධ්‍යෙවේදීන්ට තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි ලැබුණා. ඊට පෙර උසාවියෙදි මාධ්‍යවේදීන්ගේ සටහන්පොත් උදුර ගත්තා. ඒ සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නේ?

පිළිතුර - සිද්ධි දෙකක් පමණක් වාර්තා වුණා. එකපාරට ආණ්ඩුවක් අරගෙන සිද්ධියක් දෙකක් ගැන පමණක් ඇසීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.  

ප්‍රශ්නය - කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යවේදියකුට කුණුහරපෙන් කතා කළ බව වාර්තා වුණා. ඒ ගැන ජනමාධ්‍ය ඇමැති ලෙස ඔබ මොකද කියන්නේ?

පිළිතුර - මම එහෙම කතා කරන්නේ නෑ

ප්‍රශ්නය - කැබිනට් ඇමැතිවරයකු වන කිරිඇල්ල ඇමතිවරයා කතා කළ ආකාරය  හරිද?

පිළිතුර - ඉඳලා හිටලා වචනයක් එහෙ මෙහෙ වෙන කතාවක් විතරනෙ අද තියෙන්නේ. සුදු වෑන් එකක ගෙනිච්චයි කියන්නේ නෑ. ඝාතනය කළා කියන්නේ නෑ. අතපය කැඩුවා කියන්නේ නෑ. කොණ්ඩ කැපුවා කියන්නේ නෑ. බයට පිටරට යන්න වුණා කියන්නේ නෑ.

ප්‍රශ්නය - සුදුවෑන් නැති වුණා කියලා මාධ්‍යවේදීන්ට බනින්න හෝ සුළු සිදුවීම් සිදුවුණාට කමක් නෑ කියලද ඔබ කියන්නේ?

පිළිතුර - සුළු සිදුවීමක්වත් ඇති වෙන්න ඕනෑ කියා මම කියන්නේ නෑ. අපි උත්සාහ කරමු ඉස්සරහට කිසිම සිද්ධියක් ඇති නොවන ලෙස වැඩ කරන්න.

ප්‍රශ්නය - ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඔබ මේ සිදුවීම් හෙළා දකින්නේ නැද්ද?

පිළිතුර - ඔබට නිවුස් පසුව තියෙයි.

ප්‍රශ්නය - මේ සිදුවීම් හෙළා දකිනවා කියන වාඛ්‍ය කෑල්ල කියන්න බැරිද? බයයිද?

පිළිතුර - මාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් වෙනවා නම්, බලපෑමක් වෙනවා නම් අපි එය හෙළා දකිනවා කොහොමත්. ඒකටනේ අපි බලේ ගත්තේ. එකටනේ අපි ආණ්ඩුවක් හැදුවේ.

(වීඩියෝ හා  ඡායාරූප - කෞෂල්‍ය සමින්ද)

 

01

_MG_9526 _MG_9533