‘මාඝා ඉංජිනියරින් සමාගමේ’ පෙත්සම විභාගයට ගන්න අවසර


 

 

( තිළිණි ද සිල්වා )

 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නව මගී පර්යන්තය සැලසුම් කිරීම, ඉදිකිරීම හා බාර දීමේ කොන්ත‍්‍රාත්තුව රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් සුදුසුකම් නොමැති සමාගමකට ලබාදීමට රජය සූදානම් වන බවත්, ඒ සඳහා සුදුසකම් ලැබූ තමන්ට එම කොන්ත‍්‍රාත්තුව ලබාදෙන ලෙසත්  ඉල්ලා මාඝා ඉංජිනියරින් පෞද්ගලික සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසර ලබා දුන්නේය.

ඒ අනුව මෙම පෙත්සම ලබන පෙබරවාරි 26 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදී.

මෙම පෙත්සම අද (23) ඊවා වන්සුන්දර , ප‍්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දෙන ලදී.

ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති ,අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය , ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම , ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , චයිනා ස්ටේට් කන්ස්ට‍්‍රක්ෂන් ඉංජිනියරින් කෝර්පරේෂන් සමාගම , නීතිපති ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නව මගී පර්යන්තය සැලසුම් කිරීම , ඉදිකිරීම හා බාර දීමේ කොන්ත‍්‍රාත්තුව සඳහා වන ටෙන්ඩරය ලබා ගැනීමට තමා සහ තවත් එක් චීන සමාගමක් සුදුසුකම් ලබා සිටියදී වෙනත් චීන සමාගමක් වෙත එය ලබා දීමෙන් සිය මූලික අයිතීන් උල්ලංඝණය කර ඇතැයි පෙත්සම්කාර සමාගම සිය පෙත්සමේ සඳහන් කර තිබිණි.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා නීතීඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය. පෙත්සම ලබන පෙබරවාරි 26 වැනිදා යළි කැඳවේ.