‘මහින්දගේ කාලේ අද තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ‘


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දැමීම නොව විරුද්ධ පක්ෂයේ සියලු බලවේග එකතු කරගෙන ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කිරීම යැයි දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.

ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ ගොඩනැගිල්ලේ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එසේ කීවේය.

‘‘අපේ පක්ෂයේ මත ගැටුම් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මොන මත ගැටුම් තිබුණත් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගියා. පක්ෂයට සහ පක්ෂයේ නායකයාට විරුද්ධව කතා කරන විවේචනය කරන අයට අත්වන ඉරනම් තුනක් තිබෙනවා. එක්කෝ බහුතරය නැවත පක්ෂයට එකතු වෙනවා. නැතිනම් විරුද්ධ පක්ෂයට එකතු වෙනවා. නැතිනම් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා. පක්ෂය කඩාගෙන ගිය අයට ඉතිහාසය පුරාම ඔය ඉරනම් අත් වුණා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති  සමයට වඩා අද පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. එදා රැස්වීමකට ගිය පසු කියන දේ අහගෙන ඉඳලා කිසිවක් කතා නොකර ජාතික ගීය ගායනා කළ පසු පිටව ගියා. අද එවැනි තත්ත්වයක් නෑ. අද පක්ෂයේ කතා කිරීමේ අවස්ථාව තිබෙනවා. පක්ෂය කඩා බිඳ දමන්න වත්මන් ජනපතිට කිසිම උවමනාවක් නෑ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේත් යුතුකම හා වගකීම වන්නේ පක්ෂයට හා නායකයාට සහාය දීමයි.

ඉතිහාසය දෙස බලන විට ගාල්ල මේ රටේ දේශපාලනයේ වෙනසක් කළ පුරවරයක්. නමුත් කිසිම විටක කුමන්ත්‍රණයක් ගාල්ලේ සිදුවී නැහැ. මෙතෙක් කිසිම දිනක දේශපාලන රැලියකට ගාල්ලට නොපැමිණි තරම් පිරිසක් මෙවර ගෙන්වනවා.

පුළුවන්නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නැතිව මැයි රැලියක් කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට අභියෝග කරනවා.‘‘